Friday, May 30, 2014

සීතල නුවර එලිය (නොහොත් ජාත්‍යාලය 2)

පසුගිය දින කීපය ඉතා වැඩ අධික ලෙස ගෙවුණු  නිසා සීතල නුවර එලිය දෙවන කොටස ලියන්න ප්‍රමාද වීම ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ආරලු බූරලු නැතිව කෙලින්ම කතන්දරයට බහින්නම්කෝ. පළමු කොටස බැලුවෙ නැතිඅයට මෙන්න මෙතනින් ගිහින් බැලුවහැකි.  ඉතින් මම කලින් ලිපියේ සඳහන් කලා නෙව අපිට තේවතු තුනක මැනුම් කටයුතු සිදුකරන්න තිබුනය කියල. පලමු තේවත්ත තමා ෂින් එස්ටේට් කියන්නෙ. දෙවන එක හැටියට තෝරගෙන තිබුනෙ ඩන්සිනන් වතුයාය. මයිල් කෙලින් වෙන ඇබැද්දිය වුනේ ඔය කියන ඩන්සිනන් වත්තෙදි.



මට මුලින් කියන්න අමතක වුනා නෙව. මේ වතු මැන්නෙ ඒවයෙ වැඩකරපු ඉඩම් නැති දමිල අය අතරෙ බෙදා දෙන්නයි. ව්‍යාපෘති යෝජනාව තොණ්ඩමන් ඇමතිතුමාගෙ කාලෙ වුනාට, අපි මේ ඉඩම් මනින්න යනකොට තොණ්ඩමන් ඇමති, පාර්ලිමේනිතුවේ ආණ්ඩුපක්ෂෙන් විපක්ෂයට මාරු වෙලා හිටියෙ.

කොහොම හරි ඩන්සිනන් යන පළමු දවස වුනේ දීපවාලි දවසක්. එදා උදේට අපි කඩෙන් කිරිබත් හෙම කාල පිටත්වුනා. හරිම උද්යෝගයෙන් හැමෝම ඩන්සිනන් වත්තට ගියේ, එදා දීපවාලි නිසා අපටත් කැවිලි පෙවිලි යහමින් කන්න ලැබෙයි කියල හිතාන. ඒ දවස්වල අපිට තිබුනේ ටොයොටා කොරොල්ලා වැගන් වර්ගයේ කාරයක්. තේ වත්තෙ පාරක අයිනට කරල වාහනය දාල උපකරණ ආම්පන්නත් අරන් තේවත්තේ එක් කන්දකින් වැඩ පටන් ගත්තා.



උදේ එකොලහ විතර වන විට මිනින්දෝරු නඩේ කන්දෙ මුදුනට ලඟාවෙලා හිටියෙ. හීන් සිරි පොදයකුත් ඇදහැලෙමින් තිබුන. කොල්ලො කුරුට්ටොත් කීපදෙනෙක් අපේ වාහනය අහල පහල ගැවසෙමින් හිටිය. වත්තෙ මිනිස්සු ලැයිම්වලින් එලියට බැහැල අපි වැඩකරන දිහා උනන්දුවෙන් බලන් උන්න වගේ තමයි මට ඈතට පෙනුනෙ. දීපවාලි දවසනෙ කට්ටියටම නිවාඩු ඇති. හවස් කොරේ කැවිලි පෙවිලි ටිකක් හෙම කන්න බැරියැ කියල, අපේ උන්දැල දිගටම වැඩ.

ටික වෙලාවක් යන කොට අපේ වාහනය ලඟ ගැවසුන පිරිස වැඩි වුනාවගේ පෙනුනා. අපි අපේ පාඩුවේ කන්ද මුදුනටම ටික ටික සේන්දු වුනා. ඔය විදියට අපි කන්දේ අනිත් පැත්තෙ බෑවුමත් මනින්න පටන් අරගෙන තිබුන. කන්දේ අනිත් පැත්තෙ බෑවුමේ ඉන්න අපට දැන් වාහනයවත් පිරිසවත් පේන්නෙ නෑ.  නිකමට වාගේ මට හිතුන ආපහු කන්ද මුදුනට නැගල පාර දිහා බලන්න. වාහනේ ලඟ පිරිස සෑහෙන්න වැඩි වෙලා. සමහරු අතේ පොලු. තව සමහරු අතේ ලොකු ගල් කුට්ටි. ලැයිමෙ වලියක් වගේ. මං උඩ ඉඳන්ම පහල අපේ කට්ටියට කතා කරල ආරංචිය දුන්න.

ලැයිමෙ වලියක් වගේ පෙනුනට අපේ වාහනය ලඟ කට්ටිය ගහගත්තොත් වාහනයටත් අලාභයක් වෙන්නත් බැරිනෑ. මට එහෙම හිතුනට අපේ තාත්තට වෙන දෙයක් හිතිල. තාත්තගෙ කීමට අපි කට්ටියම එක සීරුවට පල්ලම් බැස්ස සිද්දය බලන්න. වත්තෙ ගල්වැටෙන් පාරට බැස්ස විතරයි, මෙන්න බොලේ එකෙක් අපේ තාත්තව බදාගෙන නෝට් බුක් එක උදුරන්න හදනව. තාත්තත් ඇරියෙ නෑ, එක පාරටම වැලමිටෙන් දුන්න උන්දැගෙ ඉලපත්ත පැත්තට පාරක්. ඒක වීසිවෙලා ගිහින් ගල් වැටට හේත්තුවුනා. වෙච්චි දේ එච්චර හොඳ දෙයක් නෙවේ. එතන පිරිමි විස්සක් විසිපහක් විතර සහ ගෑනු දොලහක් පාලොහක් විතර ඉන්නවා.

උන් ඔක්කොම දෙමලෙන්, කැඩිච්ච සිංහලෙන් අපේ හත්මුතු පරම්පරාවටම බනිනවා. ඔය අස්සෙ තව හත් අට දෙනෙක් අපේ කාර් එක උස්සල කන්දෙන් පහලට පෙරලන්න තතකනවා. තව හතර දෙකෙන් පොලු උස්සන් මොර දෙනවා. සේරටම දීපවාලි පදම සැරටම වැදිලා. ලැයිමේ නායකයා නැත්නම් තලවර් වගේ හිටපු එකා අපේ තාත්ත එක්ක වාදයක්. උන්දැල කියන්නෙ උන්ගෙ ඉඩම් අපි ආමි එකට දෙන්නයි මනින්නෙ කියල. ඒ දවස්වල ආබාධිත රණවිරුවන්ට ඉඩම් දෙන ව්‍යාපෘතියකුත් තිබුනා. මෙව්ව තොණ්ඩමන් ඇමතිතුමාගෙ යෝජනාව අනුව උන්දැලටම බෙදව වෙන්කරල දෙන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් මනින්නෙ කීවට එකෙක් නෙමෙයි අහන්නෙ. තලවර් කියනවා

තොණ්ඩමන් දැන් ආණ්ඩුවේ නේ.  
ඒක විපස්සෙට පැනල තමා ඉන්නවා.
ඔය මාත්තියා අපට බොරු තමා කියනවා. තොණ්ඩාමන්ට දැන් බලයක් නේ.
ඒ අස්සේ තව එකෙක්,
උම්බලට අද යෙන්න දෙන්නෙ නේ.
යෙන්න ඕන නම් දීපිං ඔය ඔක්කොම කොල ටික.
මේකෙ හිංගල XXX!@#$%@# ගෙ පුතාල පදිංචි කරන්න බෑ.

අපේ ආබාධිත රණ විරුවන්ට තේවතුවලින් ඉඩම් බෙදල දෙන එකට විරුද්ධව ඩන්සිනන් ලැයිම් දෙක තුනකම ගැහණු පිරිමි ජාත්‍යාලයෙන් යුතුව විනාඩි ගණනකදි එක්රැස් වෙලා හිටියා. සිංහල දෙමල කෝලාහලය අහල තිබුනට ඒක කොයි වගේ වෛරී දෙයක් වෙන්න ඇතිද කියල එදා අපිට හිතාගන්න පිලිවන් වුනා.

හප්පේ එක ගිනි විජ්ජුම්බරයයි. උන් අපේ කට්ටියව වටකරගෙන. ඔය අල්ල පනල්ලෙ අපේ එකෙක් හිමීට මාරු වෙලා ගියා සුපිරින්ටඩන් බංගලාවට වතු අධිකාරිට පනිවිඩේ කියන්න. හැබැයි මිනිහත් ගියාට ආපහු ආවෙ නෑ. පස්සෙ දැනගත්තෙ වතු අධිකාරිත් එතනට එන්න බයේ ඉඳල තියෙන්නෙ කියල. මීට ටික දවසකට කලින් තමා තවත් වතු අධිකාරිවරයෙක් නිවාස අඩස්සියේ තියාගෙන හිටියේ, පඩිවැඩි කිරීමක් ඉල්ලල. උන්දැව බේරගත්තෙ යුධ හමුදාවෙන් ගිහින්. ඒ දවස්වල පත්තරේත් සිද්දිය වාර්තා වුනා.

දැන් වසවර්ති සේනාව අපේ වාහනයට යන්න බැරිවෙන්න ඉස්සරහිනුයි පස්සා පැත්තෙනුයි කලු ගල් දාල. පොලුමුගුරු අමෝරාගෙන බලන් ඉන්නෙ. පට්ට සීතලේ හොඳටෝම දාඩියත් දාල. තාත්ත අතේ තිබුනු ෆීල්ඩ් නෝට්ස් බුක් එක දෙන්න කැමතිවුනේ නෑ.  ඒකෙම තමයි පුරා මාසයක් ෂින් වත්තෙ වැඩකරපුවත් තිබුනෙ. හවස්ජාමෙ වෙද්දි අපිට හැකි වුනා තලවර්ව නම්මා ගන්න. උන්දැට අපි නිවාස සංවර්ධන අධිකාරියෙන් දීපු ලියුමෙ කොපියක් දෙන්න කැමති වුනා. හැබැයි අපි එක්ක එන්නෝන ටවුමට යන්න. දැන් වත්තෙ එවුන්ගෙ හිතේ තලවර් අපෙන් ගානක් අරං වැඩේ ෂේප් කරගන්නයි ටවුමට යන්න හදන්නෙ කියල. උන් තලවර්ටත් කුණුහරපෙන් බැනල අපේ වාහනයටම දෙන්නෙක් නැග්ග ටවුමට යන්න.

කොහොමහරි එදා ඒ විදියට අපි බේරිලා ආවා. ඊට පහුවෙනිදා අපිට නිවාස සංවර්ධන අධිකාරියෙන් පොලිස් සන්නද්ද රථයකුයි ආමි ජීප් එකකුයි එවුව වැඩේ දිගටම කරගෙන යන්න.

ඔන්න ඔහොමයි අපි දීපවාලි කැවිලි වල රස වින්දෙ. 

Friday, May 23, 2014

සීතල නුවර එළිය (නොහොත් ජාත්‍යාලය 1)

මේ කියන්න යන කතාව නම් ඉතා බිහිසුණු මිනින්දෝරු අත්දැකීමක්. එදා ඒ සිදුවීම සිදුවන විට මමත් අපේ තාත්තා එක්ක මේ කියන ගමනට සහභාගීවෙලයි හිටියෙ.



මගේ අපොස උසස්පෙළ විභාගය අවසන් වෙලා ඉන්න කාලෙ අපේ තාත්තට නුවර එලියේ තේවතු කීපයක මැනුම් කටයුතු කරන්න යන්න සිද්ද වුනා. මාස තුනක්ම නුවර එලියේ නැවතිලා අපි  වැඩ කලා.
ෂීන් එස්ටේට්, ඩන්සිනන් එස්ටේට් සහ බේබුරූක් එස්ටේට් කියල තේවතු  තුනක් මැනල ලෙවල් නොහොත් තලමිතික පිඹුරු සකස් කරන්න තමයි තිබුනේ.

අපි මුලින්ම වැඩකලේ ෂීන් එස්ටේට් එකේ. ඒක තිබුනේ පූඩලු ඔය - නුවර එලිය පාරෙ. මේක ඉතාම පටු පාරක්. හැබැයි හරිම ලස්සන පලාත. අපේ මිනින්දෝරු නඩේට නවතින්න සුපිරින්ටන්ඩන් බංගලාවක් ලෑස්ති කරලයි තිබුනේ. අපිට කෑම ගත්තෙ පාර අද්දර තිබුනු පොඩි කඩ පොඩ්ඩකින්.



හැමදාම උදේ හත වෙද්දි අපි තේ වත්තට යනවා. නවය විතර වෙනකම් කට්ටිය එක දිගට වැඩ. පිරිසට කෑම සප්ලයි කරන එක භාරව හිටියේ මං තමයි. පලමු දවසේ උදේ වැඩට යන ගමන් අපි රොටි හදන්න කියල කඩේට කියලයි ගියේ. කැබිනට් අල්මාරියේ පේන්න තිබුනු ලුණු මිරිස කොල පාටට තිබුනු නිසා ටිකක් සැරට අපේ ලුණු මිරිස හදන්න කියලත් කීව. මොකද මේ දවස් වල හරිම සීතල කාලගුනයක් තමයි එහේ තිබුනේ.


උදේ නවයට විතර මං ගිහින් රොටි පාර්සලයයි තේවතුරයි අරං අවා. රොටියි ලූණූ මිරිසයි හරිම රසට හදල තිබුන. ලුණු මිරිසෙත් හරි අමුතු රසයක් තිබුන නිසා මගේ කෑදර කමට රොටිත් එක්ක ලුණු මිරිස් කන්නෙ නැතිව ලුණු මිරිස් එක්ක රොටි කෑව. මගෙ අම්මෝ දාඩිය දාල බඩයි කටයි දැවිල්ල ගන්න ගත්තෙ නැතෑ. බැලින්නම් ලූනූ මිරිස හදල තියෙන්නෙ නයි කොච්චි විශේෂයකින්ලු. වැඩි වෙලාවක් මෙහෙම කන්න ලැබුනෙ නෑ, අනිත් අයගෙත් ඇඟපතට දාඩිය දාල. අපරාදෙ කියන්න බෑ මේ ලුණු මිරිසෙ සැර දිවට දැනෙන්න ගත්තෙ තැපෑලෙන්. පාන්දර සීතලට කියාපු කෑම. 

මේ කාලය තුල සමහර දවස් වලට උදේට වැස්සකුත් ඇදහැලෙන්න ගත්තා. කූඩැල්ලො විමානෙ. තේ වත්තට උපකරන ආම්පන්නත් අරං නැග්ගට පස්සෙ අපි වැස්ස කියල වැඩ නැවැත්තුවෙ නෑ. තෙමීගෙනම වැඩ කලා. හරිම සුන්දර කාල පරිච්ජේදයක්. තේ දලු නෙලන පුරුදු කාරයො වැස්සට ගෙවල් වල, අපි වැඩ. ඒ අයට අපි ගැන හරි පුදුමයි. මං ඔය කියපු ෂින් තේ වත්ත ඉස්සරහ අනික් කඳුගැටේ තිබුන පොඩි දිය ඇල්ලක්. හරිම ලස්සනයි. වැඩ කරද්දි ඕක දිහා බලාගෙන ඉන්න ගිහින් තාත්තාගෙන් බැනුම් අහපු වෙලාවලුත් තිබුනා. වැස්ස පටන් අරං විනාඩි හතක් අටක් යන කොට බලා ඉන්දැද්දිම දිය ඇල්ලෙ පාට බොර වෙනවා. තවත් විනාඩි හතරක් පහක් යන කොට දිය ඇල්ලෙ පළල එකපාරටම වැඩිවෙනවා. බලා ඉන්න හරිම ලස්සන දර්ශනයක්. වැස්ස තුරල් කරන කොට හුලං හමන්න ගන්නවා. මේ වෙලාවටනම් ඉවසන්න බැරි සීතලක් එක්ක කන් පෙති හිරිවැටීගෙන යනවා. ඒත් ඒ පරිසරයේ චමත්කාරය විඳින්නෙ නැතුව දුවන්න හරිම ලෝබයි. මුලු සර්වාංගයම තෙත බරිතවෙලා. කොන්ඩා දිගේ වතුර බේරෙනවා. අපි දවල් කෑම වෙලාව වෙනකම් එක සීරුවටම වැඩ කරලා තමයි පහලට බහින්නේ.

අපි නැවතුන බංගලාවෙ උණු වතුර ගීසර් තිබුනෙ නෑ. ඉලෙක්ට්‍රික් හීටරයක් අරං තමයි වතුර රත් කරගත්තෙ. රෑටයි උදේටයි පට්ට සීතලයි. කොටින්ම කියනවනම් ශරීරකෘත්‍ය කරන්නත් අපි හීටරය ගහල වතුර නටවගෙන තමයි ගියේ. එත් විනාඩි හත අටකින් ඒකත් හොඳගානට නිවිලා. රෑට නිදාගන්න කලින් අපි ඇඳ උඩ අයන් එක ගහලා ඇඳ රත් කරලා තමයි ඇඳට පනින්නේ.

ඒ කාලෙ රථ ගාය උපරිමයෙන් තිබුනු මං ඉතාමත් ආසා කලේ උදේ පාන්දර තේ කඳු මැද්දෙන් අපේ කාර් එක එලවගෙන යන්නයි. ඒ මම රියදුරු බලපත්‍රය ගත්ත අලුත. තනි වාහනයක පලලට තියෙන මේ පාර වල් වල තට්ට තනියෙන් ඉහල පහල වාහනය පදවන හැටි දැකල‍ අපේ තාත්තාට මාගැන හොඳ විශ්වාසයක් මෙන්ම පුදුමයකුත් ඇතිකරන්න සමත් වුන එක මේ කාලපරිච්ජේදය මගේ ජීවිතයේ සිදුවූ විශේෂ දෙයක් වුනා.




ඉතා බිහිසුණුම අත්දැකීම විඳින්න සිදුවුනේ ඩන්සිනන් තේ වත්තෙ වැඩ කරන අතරතුරේදියි. ඒ දීපවාලි දවසක්. අද ලිපිය දිග වැඩියි කියල හිතුන නිසා ඒ අත්දැකීම ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්නකෝ.

Friday, May 16, 2014

අගුණකොලේ හුට්ටප්පරේ



අද මං ලියන්න යන්නේ අපේ නැණස යාලුවො සෙට් එකට වෙච්චි තවත් ඇබැද්දියක් ගැනයි. දැං ඔය නැණස කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති යාලුවො ඉන්නව නම් දුටු ගැමුණු සීගිරි කාශ්‍යප යුද්ධය ලිපිය කියවල බලන්නකෝ.



ඔන්න ඉතිං අපේ නැණසේ සෙට් එකේ එකෙක් තමයි ඔය වැල් මංජු. මේ හාදයට වැල් මංජුව කියල කියන්න ගත්තෙ ඒකගෙ ගම්පලාත ගැන විසතරයක් කියන්න ගිහින් වෙච්චි පොඩි කතා බහක් නිසා. නමින් මංජුල වුන අපේ යාලුවගෙ ගම් පලාත උනේ අගුණකොලේ. ඒකිවුවෙ අගුණකොල පැලැස්ස. අපේ සෙට් එකට මේ නම ඇහැවුවම ටිකක් අමුතුයි. කවුරුත් මේ කියන දිහා කවදාවත් ගිහිනුත් නෑ. ඉතිං අපි මේ ගමට යන පාර මේකගෙන් අහද්දි, විස්තරේ දුන්නෙ මේ විදියට, උඹල දන්නවනේ මාතර. මාතර පහුකරල තව ටිකක් කතරගම පැත්තට එනකොට දෙවුන්දර පහුවෙනව ඊට පස්සෙ මාලියද්ද, බතීගම, දික්වැල්ල පහුකරං එනකොට කුඩාවැල්ල හුම්මානයත් බලාගෙන තංගල්ලට එන්නෝන. එතන ඉඳන් ආයෙ නෙටොල් පිටිය, රන්න පහුකරල හම්බන්තොට පාරෙ හුංගමට එන්නෝන. හුංගමින් වමට හැරෙන්න තියෙනව අගුණ කොලේ පාරට. ඊට පස්සෙ ඉතිං පත්ත මලුව, මුලන, එරමිණියාය, අඟුණකොල පැලැස්ස. මේ විස්තරෙ අහගෙන හිටපු අපේ රංජා කියාපි එතන ඉඳන් මුන්ගෙ ගෙදෙට්ට යන්න ඕන නම් තව හූවයි වැල් දෙකයි කියල. එදා ඉඳන් අපි කාටත් මේක වැල් මංජුව.

            ඔන්න දැං තමයි කතාව කියන්න හදන්නේ. තවත් අපේ විභාගයක් ඉවර වුනු නිවාඩුවකට කට්ටිය අඟුණ කොලේ යන්න දාගත්තා. අපේ තව යාලුවෙක් උන්දැගෙ අපපොච්චාගේ කැබ් එක ඉල්ලා ගත්ත ගමනට. අප්පොච්චලාගෙ වාහන නෙව. ඉතින් ගමනට සෙට්වුන හැම එකාම පලපුරුදු ඩැයිවරල වෙලා. හප්පේ දුකේ බෑ, කැබ් එක දැන් කාගෙත් සුන්දරී වගේ. කොහොම කොහොම හරි ගාල්ලටත් කට්ටිය ආව. දැන් කැබ් එක කෙඳිරි ගගා තමයි යන්නෙ. අයිතිකාරයගෙ පලුයවනව මේ වෙනකොට, දිරච්ච ලදරමක් ඇරං ආවට. දැං මේ වෙනකොට ඩයිවර්ල හතරක් පහක් මේක එලෝල. තව තුන් දෙනෙක් වේටින් ලිසිට් එකේ. වැඩිය දුර ගියේ නෑ මේක හුච හුච ගාල මග හිට්ටෙ නැතෑ. බැලිං නම් බ්රේක් බයින්ඩ් වෙලා. පස්සා රෝද දෙකත් ගිනියම් වෙලා. රෝද දෙක නිවෙනකම් ඉඳල, ලඟපාත ගැරේජ් එකක්වත් හොයාගෙන යන්න කියල හදද්දි නොවැ දැක්කෙ අපේ ඩැයිවර්ල හෑන්ඩ් බ්රේක් ඇදගෙනම තමයි මෙච්චර දුරක් ඇවිත් තියෙන්නෙ. සුන්දරීට බබා හම්බ උනාට මොකද තාත්ත කවුද කියල හොයන්න බෑ. දැං ඉතිං කීදෙනෙක් මේ විදියට එලෙව්වද කියල හොයන්නයැ, අන්තිමට එලවං ආපු එකාගේ කං දෙක කීං කීං ගාන්න මීපැණි වක්කරනවා. වාහනෙත් හදාගෙන සෙට් එක ගාලු කොටුවත් බලා කියාගෙන දවල්ටත් හෝටලේකින් සප්පායම් වෙලා හවස් කොරේ ආයෙත් ගමන් ආරම්භ කලා. දික්වැල්ල හරියෙ හොඳ තැනක් බලල බීච් එක අයිනෙ වාහනේ ඇතුලෙ තියාගෙනම කට්ටිය පදමට අනුමත උනාය කියලත් කියමුකෝ. කොහොමත් සෙට් එකම සුරලෝකෙට මීටර දෙක තුනක් මෙහායින් නවතින්න වගබලාගත්ත. අපේ වැල් මංජුව ඉස්  ඉස්සෙල්ලාම ගෙදෙට්ට යාලුවො ටික එක්කං යන දවස නෙව.

            හවස පහ හය වෙද්දී අපි යාලුවගෙ ගෙදර. උන්දැගෙ අම්මයි තාත්තයි එහෙමත් නැත්තම් අපේ ඇන්ටියි අංකලුයි අපිව බොහෝම සාදරයෙන් පිලිගත්ත. අපි එනව කියන ආරංචියට කාමර තුනකුත් ලෑස්ති කරල. ඔන්න ඉතින් අපි ඇඳුම් එහෙම මාරු කරල එකා එකා වොෂ් දාල අංකල් එක්ක කයියට සෙට් වෙලා ඉන්න කොට අර අපේ දුටුගැමුණුට පොඩි හිසරදයක් එක්ක කැරකිල්ලක් අල්ලල.  (දුටු ගැමුණු ගැන දන්නෙ නැති අය මේ ලිපිය බලන්න.) මොකද පුතේ හිසරදේද? ආ.. ඔව් ඇන්ටි. මේ.. මේ ටිකක් ඔලුව රිදෙනව වගේ.  ආ.. පුතේ දේශගුනේ වෙනස් වුන නිසා වෙන්න ඇති සමහර විට. ඉන්න මං සමහන් එක්ක හදාගෙන එන්නම්. මේක අහං හිටපු අංකල්, පුතේ නිකං ඔලුව බරවෙලා කරකැවිල්ල වගේ නේද?. ආ.. අංකල්. ටිකක් ඒ වගේ තමයි. ඕකට ඉතින් බත් ඩිංගක් කාල නිදාගත්ත නම් හෙට උදේ වෙනකොට ඇරිල යයි. අංකල්ට බඩු මාට්ටු වගේ. කොහොම උනත් ඇන්ටි හදාගෙන ආපු සමහන් වීදුරුව මෑන්ට බොන්නම උනා ඇන්ටිගෙ පෙරුත්තෙට. අංකල්ට හිනා.

            ඔය අතරෙදි අල්ලපු කාමරේ හිටපු අපේ බමුණු මල්ලි හායි ඌයි කියල කෑ ගහන්න ගත්ත. එකපාරටම මේකට මොකද උනේ කියල බලන්න අපි ගියා එහා කාමරේට. බමුණු මල්ලි කලිසම් පල්ල අල්ලං වේදනාවෙන් කෙඳිරි ගානවා. අංකලුත් මෙතෙන්ට දුවගෙන ආව. මොකද පුතේ උනේ. අං..ක..ල්... පත්තෑයා..  මේ... පත්තෑයෙක් ඇඳේ ඉඳල කෑවා.. අම්..මේ...    බමුණු මල්ලි තුනෙන් දෙකක් අල්ලං කෙඳිරි ගානවා. ඔය අල්ල පනල්ලෙ ඇන්ටිත් දුවං ආව මේ කලබැගෑනිය බලන්න. මොකද මොකද උනේ පුතාලෑ තාත්තේ. නෑ.. මේ.. මේ පුතාව පත්තෑ පැටියෙක් කාල. ඔහොම ඉන්නකෝ පුතේ මං ඉක්මනට එන්නම් කියල, ඇන්ටි ගෙට ගියා. ටිකකින් ඇන්ටි, ළූණු ගෙඩියක් කපාගෙන සිද්ධාලේප කුප්පියකුත් ඇරං ආවෙ නැතෑ. කෝ.. කෝ පුතේ කොහෙද කෑවේ. මේ ලූණු ගෙඩිය සතා කාපු තැන උරච්චි කරල, සිද්ධාලේප ටිකක් ගෑව නම් විස බහිනව ටක්කෙටම. අප්පට සිරි දැං ඇන්ටි ලෑස්තිය ළූණූ උරච්චි කොරන්න. අපේ සෙට් එකට හිනාව තද කරං තවත් ඉන්න බෑ. අංකලුත් හැක හැක ගාල හිනාවෙනව. හැබැයි ඇන්ටි දන්නෙ නෑ තාම සතා කාපු තැන. කටක් ඇරල ඇන්ටිට කියන්නද, උරච්චි කරන්න කියල පෙන්නන්නද. කට්ටියම හිනාවෙනව මිසක් මොකවත් කියන්නෙ නෑ. ඇන්ටිටත් ෆුල් අප්සෙට්. අන්තිමේ අංකල් ඉස්සර වුනා. මේ ඇහුනද ඔයා ඔන්න ඔය සිද්ධාලේප එක විතරක් තියල යන්න. පුතා ඒක ගාගනිවි. ළූණු ඕන නෑ. මේ වෙද්දි කෙඳිරි ගාපු එකත් ඇස්වල කඳුලු පුරෝගෙන හිනාවෙනව. ඔන්න ඔහොමයි අපේ අඟුන කොලේට ගිය පලමු ගමන.

Friday, May 9, 2014

ෆෝ වීල් සුදු මහත්තයා



            මහවැලිය කියන්නෙ අපේ රටේ දිගම ගංඟාව කියල ඔයාල දන්නව නෙව. ඒ වගේම තමයි මහවැලි  ව්‍යාපෘතිය කියන්නෙ අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. මහවැලි ව්‍යාපෘතිය අපේ රටතුල කොයි තරම් වෙනසක් සිදු කලාද කියල අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි. මේසා අගනා ඉතිහාස කතාවක් අපේ රටට දයාද කල මහවැලි ව්‍යාපෘතියේ ආරම්භක මෙන්ම ප්‍රධාන මෙහෙයක් ඉටු කරීමේ වගකීම කරට අරන් එය නිසියාකාරව ඉටු කළ පිරිසේ ඉදිරියෙන්ම සිටිනා කෙනෙකු ලෙස මගේ පියතුමාගේ නමද තිබෙන බව ඉතාම හැඟීම්බරව, නිහතමානී ආඩම්භරයකින් යුක්තව මේ මොහොතේ මතක් කරනු කැමැත්තෙමි. මේ වන විට රෝගීව සිටින රටක් වටින එතුමාට නිදුක් නීරෝගී සුවය කඳුලුපිරි දෙනෙතින් යුතුව ප්‍රාර්ථනා කරමි. මගේ ආයුෂත් අරගෙන ඔහු තව බොහෝ කාලයක් ජීවත්වේවා.



            ඉතින් මම දැන් කියන්න යන මේ කතාව ඔහු මහවැලියෙ මේන් චැනල් එකේ (ප්‍රධාන කොටසේ) වැඩ ඇරඹි කාලයේ සිද්ද වෙච්චි එකක්. දඹානේ සිට හෙනානිගලට මැනුම් කටයුතු භාරව ඉඳල තියෙන්නෙ ඔහු තමා. ඒකාලේ මේව ඝන වනාන්තර නොවැ.  වනන්තරේ ජීප් ට්‍රැක් එක (ජීප් එකක් යාමට තරම් පලල පාරක්) කපාගෙනම තමයි ඉදිරියට යන්න ඕන. ජීප් ට්‍රැක් කීවට මහ වනන්තරේ විල්ලු, වගුරු, ගල්කුලු, ආරු මැදින් තමා පාර හදාගන්න සිද්ද වෙලා තියෙන්නෙ. මේ ආකාරයට දඹානේ සිට පාර කපාගෙන හෙනානිගලට එන කොට තව පිරිසක් මහ ට්‍රැක්ටරයකින් ඊට දවසකට දෙකකට කලින් යැවුවලු හෙනානිගලයි දඹානයි අතරමැද තියෙන දොලගල්වල කියන ඉසවුවට, එකාලෙ තිබුන වටපාරෙන්. ඒ අයගෙ රාජකාරිය වෙලා තියෙන්නෙ පිරිසට නවාතැන් ගන්න ලොකු කූඩාරමක් සකසලා දොලගල්වල සිට දඹාන පැත්තට පාර හදාගෙන එන්න. මේ කූඩාරමට කාමර දෙකකුයි, තරමක විශාල කොටසකුයි අයිතියි. සති දෙක තුනක් හෝ මාසයක් විතර එක දිගට ඉන්න වෙන නිසා බිමට සිමෙන්තිත් දාල සිමෙන්තියෙන් වැසිකිලියකුත් හදනවලු. ඒ කාලේ සර්වයර් සුපිරින්ටන්ඩන් නොහොත් මිනින්දෝරු අධ්‍යක්ෂකට ඉතින් මේව සුපිරිසිදුවට පහසුවට තියෙන්න ඕනැ. උන්දැ සුද්දෙක් නොවැ. දැනටත් ඉතින් අපි ඔය කතාවට කියනවනේ මගේ වැඩත් සුද්ද වගේ ක්ලීන් කියල.

            මේ කාලේ වැවිලි සමාගම් එහෙම පාලනය වෙලා තියෙන්නෙත් බොහෝ දුරට සුදු ජාතිකයන් අතින් තමා. ඒ වගේ වැවිලි සමාගමක් භාරව හිටපු සුදු මහත්තයෙකුත් මේ වැඩේ ආරංචිවෙලා මගදි අපේ පිරිසත් එක්ක එකතුවෙලා තියෙනවා. උන්දැට ඕනැ වෙලා තියෙන්නෙ විනෝද චාරිකාවක් වගේ කැලේ මැදින් හෙනානිගලට ගිහින් අපේ ආදිවාසී ජනතාව බලා කියාගෙන එන්න. කැලේ දෙවියන්ට භාර වෙලා අමු කොල අත්තක් කඩලා අතුදෙබලක එල්ලල හෙම තමයි අපේ පිරිස ගමන ආරම්භ කරන්නෙ. ඔය එන අතෙරෙදි වගුරු වගේ එරෙන තැන් හමුවුනාම, කැලේ වැල් කඩාගෙන ඇවිත් කැලෙන්ම සොයා ගත් ලී කොට, අතු ඉති එකට තියල බැඳල රෝද වලට තියල තමයි එගොඩ වෙන්නෙ.  සමහර වෙලාවට කැලේ මැදින් ගලන දොල පාරවල් දෙකට බෙදිල කැලේ මැද කුඩා දූපත් හෙම හැදිල තියෙනවලු. මේවගේ තැන් දැක්කම කාටද ආස හිතෙන්නෙ නැත්තෙ. ඉතින් කස්ටිය එහෙම තැන් වල ටිකක් නැවතිල නාල කාල හෙම තමයිලු පිටත් වෙන්නෙ. 

මේ විදියට හැතැක්ම තිස්තුනක් පාර හදාගෙන යන්න තිබුනලු. අත්දුෂ්කර එහෙත් ආශ්වාද ජනක ගමනේ දවල් හරිය වන විට අපේ පිරිස වේර පොකුණ කියන කැලේ මැද ගම්මානෙකට ලඟාවෙලා. එදා උදේ උයාගෙන ආපු බත් සමග ආඳා මාලුයි, පරිප්පුයි, කොල සම්බලයකිනුයි තමයි දවල්ට සප්පායම් වෙලා තියෙන්නෙ. අපේ තාත්තට නම් ආඳා මාලු එච්චර ඇල්ලුවේ නෑලු. ටික වේලාවක් ගිමන් නිවල ආයෙත් කට්ටිය අයියනායක දෙවියන් සිහිකරන් තව කොළ අත්තක් හෙම එල්ලල ගමන් ආරම්භ කරල. ඔහොම තව හැතැක්ම දෙකක් විතර ඉස්සරහට යනකොට අපේ පිරිස ගමන් ගත්ත ජීප් එක වගුරක එරිල. රියදුරුතුමා දන්න සෙල්ලං ඔක්කොම දාල රෝද හතරම මඩේ එරිලලු. ඒ ගිය ජීප් එකේ ෆෝවීල් විතරයි අර වින්ක් එක කියන උපාංගය තිබිල නෑ. දැන් මේ ගමනට අර මන් මුලින් කීව සුදු මහත්තයත් අපේ පිරිස සමග උන්දැගේ ලෑන්ඩ්රෝවර් වර්ගයේ ජීප්පුවෙන් මගදි එක්කාසුවෙලා තිබුන නෙව. අපේ කස්ටිය සුද්දට කෑ ගහල කියල වගුරට දාන්න එපා එරෙනව කියල. සුද්ද බැලුවලු දැන් තමයි මගේ වැඩ පෙන්නන්න හොඳම වෙලාව කියල, ඉංගිරිස් වලින් “Don’t you know? This is a Land Rover. I am an expert of four wheel drive in London.කියල පුරාජේරුවකුත් කීවලු. මෙහෙම කියල උන්දැගෙ ජීප්පුවෙත් සැර දාල හෙම දැම්මෙ නැතෑ මඩ ගොහොරුවට. අපේ එරිච්චි මිට්සුබිෂී ජීප් රථය පහුකරනවත් එක්කම උන්දැගේ ජීප්පුවත් ඉදිරිපස රෝද නොපෙනෙන තෙක්ම එරිල ගිහින්. මෑන්ස්ගේ සෙල්ලන්නුත් දැන් අහවරයි. සුද්ද තමන්ගේ වාහනයටත් බැනගෙනම දොර ඇරල මඩට බහැල. දැන් ඉතින් මිනිහගෙ සුදුපාට, කටයි නලලෙ කුඩා කොටසකුයි විතරයි.



කොරේ පිටට මරේ කියල අපේ පියතුමාට දවල් දෙසාබාපු ආඳා මාලුත් උඩ පැන පැන වැඩ කරන්න පටන් අරං ඔක්කාරෙලු. දැං ඉතින් මොකද කරන්නෙ, අනිත් පැත්තෙ ඉඳල මේ පැත්තට පාර කපන් එන ටැට්ටරේ සමහරවිට හෙට උදේ වෙද්දි එන්න ඉඩතියෙන නිසා ඒක එනකම්, වගුර කිට්ටුවම කැලේ වාඩිගහන්නයි කස්ටියගෙ කල්පනාව. මොකද අද වගේ අතේ ගෙනියන ටැලිපෝන් නෑනෙ. අපේ සුදු මහත්තයත් ඉන්නවලු රූස්ස මුලක් උඩ ඇන තියාගෙන, හරියට පෙරහැරේ ආපු ගරා යකා වගේ. ඔහොම පැයක් දෙකක් ඉන්නකොට ඈතින් ඇහෙනවලු සද්දයක්. සද්දෙ ටික ටික අපේ කස්ටිය උන්නු දිසාවට ලංවෙන හඬ ඇහෙන්න ගත්තලු. බැලින්නං මේ කලින්දා උදේ දොලගල්වලට යවපු අපේ මහ ටැට්ටරේ නොවැ. අපේ පිරිස සන්තෝසෙට උඩ පැනල කෑ ගහල එක සෙල්ලමයිලු. එදා කොහොමට තියෙන්න ඇත්ද ඒ පිරිසගෙ සන්තෝසෙ. ඔන්න ඉතින් ටැට්ටරේ ඇවිත් ටේලරේ ගලවල හුක් එක කියන කොටස ජීප් එකේ බෆර් එකට යටින් දාල, ලී කොටන් එහෙම දාල ඇදල ගොඩ ගත්තලු. අපේ සුදු යාලුවගෙ ලෑන්ඩ් රෝවර් එකටත් ඉතින් ඒ ප්‍රතිකර්මයම තමා කොරල තියෙන්නෙ.

දැන් ඉතින් මඩෙන් ගොඩ වෙලා ටැට්ටරේටත් ආයිබෝං කියල අපේ පිරිස දොලගල්වල බලා ආයිමත් පිටත්වෙලා. ඒ යන අතරත් පොඩි පහේ ආරුවක් නොහොත් දොල පාරකිනුත් එගොඩ වෙන්න තිබිල තියෙනවා. ඔහොම තව ඉස්සරහට යනකොට ආයෙ තව දොලක් හමුවෙලා එගොඩ වෙන්න. ඒකෙ නම් ටිකක් වතුර වැඩියිලු. ඉතින් ඔන්න වතුර පාර අඩු වෙනකම් ටිකක් වෙලා බලං ඉන්න කොට එකපාරටම වතුර පාර ඉහලගිහින්. දැන් මොකද කරන්නෙ, කට්ටිය ආපසු හරවගෙන එන්න ගත්තලු වෙන ඉසව්වකින් එගොඩ වෙන්න හිතාන. බොලේ කලින් එගොඩ උන දොලපාරෙත් දැන් ඉහ පොවන්නත් බැරි ගානට වතුර ඉහල ගිහින්, උඩහට වැහැල. එදා ඉතින් පිරිස දොලවල් දෙකට මැද්දෙ රැය පහන් කරල පහුවෙනිදා උදේ වතුර අඩු වුනාමලු දොලගල්වලට ගියේ. 




මේ සටහන මාගේ පියතුමන්ට උපහාරයක්ම වේවා! 

දෙපතුල රිදෙනතුරු කඳු හෙල් හෙම නැගලා
හතරමහ නිධානේ ලෙස               සිත් දරලා
හතර දෙනෙක් ඇති දැඩි        කරමින් වඩලා
සිටිනා රන් දෙපතුල               නමදිමි වැඳලා

පාලුව තනිය කිසිවිට සිත නොරැඳෙන්න
පින් සිතුවිලි තව තව සිහියට        එන්න
දහසක් සවි දහසක් බල          මට දුන්න
පිනෙන්ම මගෙ පියතුම  සුව ලැබගන්න

Monday, May 5, 2014

දුටු ගැමූණු සීගිරි කාශ්‍යප යුද්ධය



               එක පාරටම බැලුවම තෙලිදියට පදම වැඩිවෙලාවත් ද කියල හිතෙනව ඇති නේද. දුටු ගැමුණු එළාර යුද්ධයක් ගැන අහල තිබුනට දුටු ගැමුණු සීගිරි කාශ්‍යප යුද්ධයක් අහල තඅබුනෙ නෑ නෙව. එහෙම යුද්ධකෙුත් තිබුන,මේ සිරි ලංකාවේ. මේක නම් ගම් මනක්කල්පිත සත්‍ය කතාවක්. කියවලම බලන්නකෝ.



            මේක මේ අපේ තෙලිදිය තුමා නැතිනම් මංතුමා උසස් අධ්‍යාපනය හදාරපු කාලේ සිද්ද වෙච්ච සිදුවීමක්. මේ සිද්දියට අදාල අපේ යාලුවො සේරම සිලීටයේ එහෙමත් නැතිනම් (SLIIT) එකේ ඉගෙන ගත්ත කාලේ සිදුවීමක්. ඒ කාලේ අපි හුඟදෙනෙක් බෝඩිම් වෙලා තමයි කැම්පස් ගියේ. විවිධ අවස්ථාවල අපි බෝඩිම වෙනස් කලාට පාඩම් කරන්න විභාග දවස් වලට එක බෝඩිමකට සෙට් වෙනවා. ඒ තමයි නැණසමේ බෝඩිමේ නම හැදුන හැටිත් මට මතක විධියට ඉතිහාසගත කතාවක්. හරියටම දන්න යාලුවෙක් ඉන්නව නම් පොඩියක් මතක් කරන්නකෝ.

            ඔන්න ඉතින් මේ කියන කාලය එක් වාරයක විභාගයක් අවසන් වෙච්ච කාලය. එක්සෑම් පටන් ගන්නත් කලින් අපි යාලුවො සෙට් එක කතාවුනා එක්සෑම් ඉවර වෙලා කොහේ හරි ට්‍රිපක් දාගමු කියල. කස්ටිය එක එක පලාත් ගැන කියන අතරේ, අපේ බමුණු තුමා ගත්ත ගෙදරට කෝල් එකක්. හෙලෝ හෙලෝ.. ආ තාත්තේ මම මේ අඳුන, පුතා කතා කරන්නෙ. ඇයි පුතා හදිස්සියෙ. නෑ තාත්තෙ මං මේ කතාකලේ..... අපේ යාලුවො සෙට් එක නකල්ස් යන්න කියල කතා වෙනව එක්සෑම් ඉවර වෙලා ........................ ඕකේ ඕකේ තාත්තෙ. හරි තාත්තෙ. බුදු සරණයි. ඔන්න මචං වැඩේ සෙට්. මේ ටික විශේෂයෙන් මතක් කරන්නම ඔනේ. අපේ බමුණු තුමාගෙ තාත්තා වැඩ කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඉහල තනතුරක්. ඉතින් එතුමා තමයි අපිට නවතින්න නකල්ස් සර්කිට් බංගලාව වෙන්කරල දුන්නෙ. තෙලිදිය එතුමාව මේ මොහොතේ පුන්‍යානුමෝදනාත්මකව සිහි කරන්න කැමතියි. (එතුමාට සසර කෙලවර අමා මහ නිවන් මග අවබෝධවේවා!)

            ඔන්න දැන් සේරම ලෑස්තියි. නඩේ ගුරා වුනේ තෙලිදියම තමා, මොකද ඒකාලේ මංතුමාගේ ලොකු මස්සිනා වැඩ කලේ බදුල්ලෙ නිසා නිතර නිතර බදුලු ගිහන් පාරවල් හොඳට පුරුදුයි. පාන්දර 5ට විතර අපි බෝඩිමෙන් පිටත් වුණා. කෙලින්ම මීගමුවෙ තට්ට බඩාලෑ ගෙදර ගිහින් අර බාබකියු සැට් එකත් වාහනයට පටෝගත්ත. මට මතක හැටියට අපි ඇම්බැක්ක ගඩොලාදෙණි එමෙත් බලාකියා ගෙන දවල් වෙද්දි මහ නුවරට ලඟාවුනා. මහ නුවරින් බාබකයු කරන්න අවශ්‍ය අඩුම කුඩුම හෙම අරගෙන අපි මහියංගන පාරේ නකල්ස් යන්න පිටත් වුනා. හුන්නස් ගිරියට ලඟා වුන අපි හුලං කපොල්ල ලඟ හෝටලයෙන් තේ එහෙම සප්පායම් වෙලා ෆොරස්ට් සර්කිට් එකට එන කොට සවස 7.20ට විතර ඇති.

            තට්ට බඩා බාබකියු එකේ කලමනා ලෑස්ති කරන අතරේ උදීෂ බඩා තමයි බොතල් පාටිය ලෑස්ති කලේ. ඔන්න දැන් කස්ටිය ආගිය කතා පටට කතා කියකිය සෙට් වුණා කියමුකෝ. ඔය කොයි සෙට් එකෙත් වගේ අපේ සෙට් එකෙත් හිටියා බයිට් කකා කෝක් බීබී ආතල් දෙන වැල් මංජුව කියල එකෙකුත්. ඒ දවස් වල තෙලිදියතුමා  බීවෙ බියර් විතරයි. ආහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපේ සාධාරණ කොටාත් අමධ්‍යප බුවෙක්. එතකොට සිරසෙ බඩා නොහොත් බඩී වයින් විතරයි බීවෙ. ඔය කොයි කාටත් හරියන කළමණා කාරිය අපි අරං ගෙනිහුන් තිබුන. ඕං ඉතිං පොඩියක් පදමට එන කොට අපි තුන්ඩු මංජුසාවට අතදාල  තුන්ඩුවක් අරං එකෙ ලියවිල තියෙන ජවන්කාව රඟපාල පෙන්නන සෙල්ලමත් පටං ගත්ත. ඔය අතරේ අපේ  රාජාවලිය, සිංහල රජවරු හා ඔවුන්ගේ වික්‍රමයන් එහෙම වාද විවාදත් තිබුනා.  ඔය විදියට ගෙනාපු බෝතල් ටික අහවර කරල කෑම කන අය කෑම කාල එහෙම දැන් ලෑස්තිය නිදා ගන්නයි.


            ඕන්න දැං තමයි ඉතිහාසෙ වෙනස් කරපු යුද්දෙ පටන් ගන්නෙ. අපි නැවතුන සර්කිට් බංගලාවෙ තිබුනේ ඩබල් ඇඳන්. ඒකීවෙ තට්ටු දෙකේ ඇඳන්. ඕන්න ඉතින් ඔය වගේ ඇඳක් ඉස්සරහ බිත්තියේ එල්ලල තිබුන පරන කැලැන්ඩරයක්. ඒකෙ තිබුනෙ සීගිරි රාජධානියේ අභිමානවත් පිංතූරයක්. දැං මේක දැක්ක අපේ යාලුවෙකුට ඉවසුම් නෑ. මිනිහ වෙරිමරගාතෙ ඇඳෙන් බැහැල අර කැලැන්ඩරය ලඟට ගිහින් දොහොත් මුදුන් දීල වඳින්න තියා ගත්තෙ නැතෑ. සීගිරි කාශ්‍යප අපේ වීරය, උන්දැට අපි සදා ණය ගැතියි කිය කිය වැඳපු මිනිහව උස්සල අපි දැම්ම අර ඩබල් ඇඳේ පහල මෙට්ටෙට. මෑන්ට ටිකක් වැඩියි වගේ. අර ඇඳේම උඩ හිටපු යාලුවත් බෙල්ල දාල මොන මොනවාදෝ කීව. මෙන්න අපේ සීගිරි කාශ්‍යපට නැග්ගෙ නැතෑ අසූහාර දහසට. උඹ කවු ද යකෝ මට අනං මනං කියන්න, දැනගං මම තමයි සීගිරි කාශ්‍යප. අපේ අනිත් යාලුවත් ඇරියෙ නෑ. අඩෝ දැනගං උඹ සීගිරි කාශ්‍යප උනාට මට මොකෝ, මං තමයි ඩෝ දුටු ගැමුණු. අම්මට සිරි දැන් තමයි ඓතිහාසික යුද්දෙ පටන් ගන්නෙ. පහල යාලුවා- අඩෝ උඹට පුලුවන් උනාද ඩෝ සීගිරි ගලේ මාලිගා හදන්න. මමයි ඩෝ සීගිරි මාලිගාවෙ අයිතිකාරය. අනිකා- උඹ ගල උඩ මාලිගා හැදුවට බලපං දැන් ඉන්නෙ මට වඩා පහලින් ඩෝ. පහල එකා- අඩෝ! තෝ කොහොමද යකෝ මට උඩින් ඉන්නෙ. බැහැපිය පරය බිමට. අපිට ෆුල් ආතල්. නිදි මතත් කොහෙ ගියා ද නෑ.  කවද බලන්නද ගැමුණු කාශ්‍යප යුද්ද. ඔහොම දෙන්න විනාඩි වස්සක් විතර යුද්ද කරා. දැන් තමා යුද්දෙ උච්චතම අවස්ථාව. දුටු ගමුණුට මං බය නෑ ඩෝ කියල, අපේ කාශ්‍යප රජතුමා ගහපි නේද පයින් උඩ ඇඳට. අනේ අපේ අපේ දුටු ගැමූණු සීගිරි කාශ්‍යප ගෙ පා පහරට බිමට පෙරලුනා.
            ඔන්න ඔහෙමයි දුටු ගැමුණුයි සීගිරි කාශ්‍යපයි යුද්ද කලේ. අපේ ට්‍රිප් එක නම් තව දවස් තුනක් තිස්සෙ රස වින්ඳා. අපරාදෙ කියන්න බෑ පහුවදා දුටුගැමුණුයි සීගිරි කාශ්‍යපයි කරට අත දාගෙන පුංචි ලෝකාන්තෙ බලන්නත් ගියා.