Friday, June 20, 2014

මේ සිංහල අපගෙ රටයි...!

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන..... මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුලු ලොව ඒ රටට යටයි..

මේ දවස්වල උණුසුම් මාතෘකාවක් තමයි මේ. අපි ඉස්කෝලෙ යනකොට හැමදාම උදේට නන්දා මාලිනිය මෙහෙම කීයනව. ඒත් අද තත්වය වෙනස්.  අද අපේ උගත්ය පණ්ඩිතය කියල පිලිගැනීමක් තියෙන සමහර අය කියන්නෙ මේක සිංහලයගෙ විතරක් නෙමේ, සිංහල, දෙමල, මුස්ලිම්, එකී මෙකී නොකී සහ අනාගතයේ බිහිවෙනව කියල හිතෙන ඔක්කොම ජාතීන්ට ආගමිනයින්ට අයිති රටක්ලු. ඒක නිකං කාගෙත් සුන්දරී වගේ කියලයි මට හිතෙන්නෙ.

මටත් මේ කතා බහ කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බෑ. මහා පඹ ගාලක අපි පැටලිලා ඉන්නව කියල තමයි හිතෙන්නෙ. මේ පටලැවිල්ල අපි අද අදම ලිහල දැම්මෙ නැත්නම් තව අවුරුදු තුන හතරකින් හෙලදිවට බඩුම තමා. ආයෙ දෙකක් නෑ.

හෙලයන් විසූ දිවයින හෙලදිව වූවා මෙන්ම, රාක්ෂ, යක්ෂ, දේව සහ නාග යන ජන කොටස් හතරක් වාසය කල නිසා සිව්හෙලය සෑදී පසුව සිංහලය හැදුනා කියලත් මතයක් තියෙවන. මේ කියන සිව් හෙල කතාව අද ඊයෙ බිහිවෙච්ච මතයක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව.
ඕනම නම් මෙන්න මේව කියවල බලන්න.

එකපාරටම පිලිගන්න අමාරු ඉතාම වැදගත් කාරනයක් මේවයින් කියන්න ඔප්පු කරන්න හදනව. ඒ වගේම මේ කාරණා බැහැර කරන්න තරම් තර්ක හොයාගන්නත් බෑ. කාලයක් තිස්සෙ ඇහෙන්න පටන් ගත්ත මේ දේවල් ඉතාම පරීක්ෂාකාරීව සංවාද මණ්ඩප වලට ගෙනල්ල, තවත් අවශ්‍ය නම් පරීක්ෂණ දත්ත ඉදිරිපත් කරල තහවුරු කිරීම හො නොකිරීම තවදුරටත් අතපසු නොකර කලයුතු දෙයක් කියලයි මට හිතෙන්නෙ.
මේ ඉදිරිපත් වෙන්නෙ අප මහා ලොව්තුරු බුදුරජානණ් වහන්සේ මෙන්ම බුද්ධ චරිතාපදානයම හෙලදිව සිද්ද වෙච්චි දෙයක් කියල.


තව සමහරු කියනව බුදුන් ඉපදුන තැනුයි, කාපු බීපු තැනුයි හොයල වැඩක් තියේද, බුදු හාමුදුරුවො දේශනා කරපු විදියට ධර්මානුකූලව ජීවත් වෙන්නෙ නැතිව කියල. සහතික ඇත්ත. බුදුන් දකින්න නම් ධර්මය අනුගමනය කරල ධර්මය දකින්න කියල දේශනා කරල තියෙනවනේ.

එතකොට තව කෙනෙකුට කියන්න පුලුවන්, බුදු රජාණන් වහන්සේ ඉපදුන, බුදුවුන, පලමු ධර්ම දේශනාව කල, පිරිනිවන් පෑ යන ස්ථාන බෞද්ධයකු විසින් වැඳ පුදාගෙන පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හැටියට බුදුරජාණන් වහන්සේම දේශනා කරල තියෙනවනේ කියලත්.

කොහොම වුවත් කවදාවත් බුදුහාමුදුරුවො ධර්මය වෙනුවෙන් නැතිනම් භූමියක් වෙනුවෙන් හෝ වෙන මක්කවත් වෙනුවෙන් ඇන කොටාගෙන ගහ මරාගන්න කියල දේශනා කරල නෑ නෙව. වතුර ප්‍රශ්නයක් නිසා ශාක්‍ය වංශිකයොයි කෝලිය වංශිකයොයි අතරෙ ඇතිවෙන්න ගිය යුද්ධයත් බුදුහාමුදුරුවො මැදිහත් වෙලා විසඳුව නෙව.

එහෙමයි කියල අන්‍යාගමික අන්තවාදීන් සිංහල අපට කෙනෙහිලිකම් කරන කොට පෘතග්ජන අපි මෛත්‍රී කොර කොර ඉන්ටද කියන්නෙ.

  ඇයි අන්‍යාගමිකයො විතරද එතකොට අන්තවාදීන්. සිංහල බෞද්ධයො අතර අන්තවාදීයො නැද්ද මේ පිදුරු ගොඩට පෙට්‍රල් දාන.

මෙච්චර කාලයක් මුස්ලිම් අය අපේ රටේ කාල බීල හිටියෙ හලාල් තිබිලද. එකපාරටම හලාල් ඕනැ වුනේ මුස්ලිම් අන්තවාදීන්ට නෙමේද. හලාල් කියල අපේ ව්‍යාපාරවලින් මුදල් ගසාකෑවෙ නැද්ද. එකම රටක් එකම කොඩියක් යටතෙ හිටපු අයට කොඩියෙ සිංහයගෙ කඩුව වැරදියට පේන්න ගත්තෙ අන්තවාදී උසිගැන්වීමි නෙමේද. ලෝකෙ කොහේවත් නැතිවිදියට රටේ ජාතික ගීය භාෂා දෙකකින් ඕන වුනේ ඇයි. පිටකොටුවෙ මුස්ලිම් මහා රැලි පවත්වන කොට සිංහල අය ගියාද බාදාකරන්න. කඩාකප්පල් කරන්න. ඇයි අලුත්ගම සිංහලයින්ගෙ පාගමනට මුස්ලිම් පල්ලියේ ඉඳන් ගැහුවෙ. ඒකෙන් නේද මේ විනාසය පටන් ගත්තෙ.

 එතකොට අලුත්ගම පාගමන් ගියේ පිරිත් කිය කියද. අන්තවාදීන් කීප දෙනෙකු නිසා මුලු මුස්ලිම් සමාජයටම ගරහල කෑගගහ සටන් පාඨ කිය කිය යනකොට, පල්ලියට වෙලා මුස්ලිම් අපි භාවනා කරන්නද.

අලුත්ගමට කලුපැල්ලම ගෙනාවෙ සිංහල අයගෙ පාගමන විතරද. ඒ පාගමන් රැලියට හේතුවෙච්ච, පොසොන් පෝය දවසෙ බණට වැඩිය අපේ හාමුදුරුවන්ටයි, රියදුරුටයි ඉස්පිරිතාලෙ යන්න නෙලුවෙ බෞද්ධයොද.

බලාගෙන යනකොට ජාතිකාභිමාණී ගීත කිය කියා නන්දා මාලිනිල වගේ අය නේද මේ විසබීජය සිංහල අපේ ඔලුවලට දැම්මෙ.

එහෙම වෙන්නෙ කොහොමද එතකොට අනගාරින ධර්මපාලතුමා මේව කීවෙ අන්තවාදීයෙක් අමු ජාතිවාදියෙක් නිසාද?  



මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමියන් අන්‍යාගමිකයන් සමග පානදුරා වාදයක් කරල පැරැද්දුවෙ අමු අන්තවාදියෙක් නිසාද. එහෙම බලනකොට මේ ප්‍රශ්නයට මුල පුරල තියෙන්නෙ අනගාරික ධර්මපාල, මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමි වගේ අයද. එහෙමනම් ඇයි ඔවුන් අපි තවමත් වීරත්වයෙන් ගරු කරන්නෙ. සමරන්නෙ.

ගුණානන්ද හිමි විරුවෙක් නම්, ඥාණසාර හිමි මරුවෙක් වෙන්නෙ කොහොමද.

නැහැ වෙනසක් තියෙනව. මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමි දස දහසක් බෞද්ධ අබෞද්ධ අය මැද අන්‍යාගමිකයන් සමග වාද කලේ එකදු ලේ බිඳුවක් වත් නොසොල්වා බව ඉතිහාසය සාක්ෂි දරනව.


අවසාන වශයෙන් විජය කුමාරය තම්බපන්නියට එන්න කලින්, දියුණු තාක්ෂණයක් ශිෂ්ඨාචාරයක් හෙලදිව තිබුනු බවට සාක්ෂි අදටත් හමුවෙනව. නමුත් ඒ ඉතිහාසය වෙනයම් කාරණාවක් නිසා හිතාමතාම හෝ නොදැනුම්වත් කම නිසා ඉස්මතුවෙන්නට ඉඩ දෙන්නෙ නෑ කියලයි මගේ හැඟීම. අද අපි මූණදෙන ප්‍රශ්න ගොඩකට එහි පිලිතුරු තිබෙන්නට පිලිවන්. ඒ පිලිබඳව ගවේෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව මට හිතෙනව.

අරාබියේ පන්සල් හදන්න, ප්‍රසිද්දියේ බුදුන් වඳින්න දුන්නෙ නැති වුනාට අපි මේ හෙළදිවේ ඉතිහාසයේ ඉඳලම අන්‍යාගමිකයින්ට පල්ලි හදන්න ඉඩදීල ඔවුන් සමග සහජීවනයෙන් ජීවත් වෙච්චි පිරිසක්. එහෙම නැතිනම් මේ ගින්න ඇතිවෙන්නෙ පානදුරා වාදය අවසන් වූ දවසෙමයි.

අරාබි මුස්ලිම් රටවල අවුරුදු පහලොව දහසය එකදිගට වැඩ කලත් ඉඩමක් මිලදී ගන්න තියා පුරවැසිභාවයවත් අපට ලැබෙන්නෙ නැතිවුනාට, අපේ රටේ මුස්ලිම් ජනතාවට එහෙම බාදාවක් මෙතුවක් වෙලා නෑ. ඒ අපේ සිංහල ගතිය, ඉවසීම යම් තරමකට හෝ සමානාත්මතාවයට ගරු කිරීම වැනි හැඟීම් වෙන්නැති. කොටින්ම කියනවනම්, වෙන රටවල සෑම පුරවැසියන්ටම එක නීතියක් තිබුනට අපේ රටේ, ආගම් ජාති අනුව වෙන වෙනම නීති සකස් කරල තියෙනව.

බෞද්ධ හැමෝම රහත් උදවිය නොවන බවත්. රහත් වෙනකම් හුදු පෘතග්ජන මිනිසුන් බවත්, එතෙක් ජීවත් විය යුතු බවත් පමනක් සිහිවේ.

වෛරයෙන් වෛයිරය නොසන්සිඳේ.



නැවතත් වෛරයෙන් වෛයිරය නොසන්සිඳේ.

බුදුන්ගේ අමා ධර්මේ.... නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ උනාමේ
(මුස්ලිම් ජාතික අල්හාජ් මොහිදීන් බෙග් මහතා)

ප.ලි./
සුළු ජාතීන් පාගා පහත් කිරීමටවත්, ජාතීන් අතර ගැටුම් ඇතිකිරීමටවත් නොව. අතීතය ඉතිහාසය නැවත ගවේෂණය කර, හුදෙක් මේ පටලැවිල්ල ලිහා ගැනීමට අලුතින් සිතන්නටත්, තර්ක කරන්නටත් මිත්‍රශීලි විවාදයකින් පිලිතුරු සොයා යෑමට ඇරඹුමක් සඳහා පමණි.

(මෙහි ඇති පින්තූර අන්තර්ජාලයෙන් ලබාගෙන කිසිදු සංස්කරණයකින් තොරව පලකර ඇත. එමෙන්ම මෙම ලිපියේ ඇති සබැඳි මගින් ද ගවේෂනාත්මක තොරතුරු සම්පාදනය කරගෙන ඇත.)

Friday, June 13, 2014

කොට කලිසම් මහත්තයා

අලුත් පාරවල් කපල, තියෙන පාරවල්, පදික වේදිකා අලුත් වැඩියා කරල මැණික් ඟග දිගේ අලි වැටකුත් හැදුන. මුලු කතරගමම විතරක් නෙවේ අවට ගම් බිමි නගරත් ලහි ලහියේ අලුත් වෙමින් තිබුනා. මේ වෙන මොකටවත් නොවේ, කතරගම ගම් උදාව වෙනුවෙන්.

`

ගම් උදාව වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියටත් විශේෂ කාර්ය භාරයන් පැවරුනා. ඒ තමයි ගම්උදා භූමියේ සියලු මැනුම් කටයුතු සිදුකිරීම. ඉතින් අපේ තාත්තටත් මේ රාජකාරිය සඳහා පිටත්වෙන්න සිදුවුණා. සති ගණන් කතරගම නැවතිලාම තමයි රාජකාරිය කලේ.

කෙතරම් දුෂ්කර කටුක වුවත්, හරිම විනෝදෙන් එය ඉෂ්ඨ සිද්ද කිරීමේ හැකියාවක් අපේ තාත්තටත් තිබුන. පරිසරයට සතා සීපාවට තියෙන ආදරය ඇල්ම නිසා පැවරුන රාජකාරිය ඔහු ඉතා ආසාවෙන් සිදුකලා. සෑම උදේකම වැඩබිමට යනකොට ඔවුන්ව පිලිගන්න මොණරු රංචු පිටින් ඇවිදින් සිටියා. දවල් වෙද්දි ඔවුන්ගේ වැඩ බලන්න ඉත්තෑවො කබල්ලෑවො වගේම සමහර දවස්වල සවස් යාමයේ උදාගමේ කැලණි විහාරය ඇති ප්‍රදේශයට මුව පොව්වන් ද ඇවිත් වැඩබිමේ තොරතුරු හොයල තියෙනවා. තවත් සමහර දවස් වලට නයා පොලඟා මාපිලා එහෙමත් අපේ කට්ටිය වටේ ගැවසිල ගෙහුන් තිබුන. කලිසම් පස්සා සාක්කුවේ ඉඳල අහම්බෙන් අතට ආවත්, දිවි මකුලුවාගෙන් කරදරයක් වෙලා නෑ. අපේ තාත්තා අදටත් කියන්නෙ කැලේ කොලේ සතා සීපාව එක්ක ඉඳලත් කිසිම කරදරයක් හිරිහැරයක් වුනේ නෑ, වෙච්ච හිරිහැරයක් මිනිසුන්ගෙන් මිසක්ය කියල.




අපේ තාත්තගේ නඩේට තවත් මිනින්දොරු මහත්තැන් කෙනෙකුත් ගෝලයෝ හත් අට දෙනෙකුත් වැඩ කරල තියෙනවා. උදාගම් බිමේ වැඩ කරන අතරේ ඉඳල හිටල රාත්‍රියට පොඩියට එකක් දෙකක් අරහෙ මෙහෙ කරගන්නත් අමතක කරල නෑ. ඉතන් පස්සෙන්දට නිවාඩුවක් ලබන දවසක රාත්‍රියේ අපේ තාත්තයි අනිත් මහත්තයයි ටිකක් විවේක සුවයෙන් එලිමහනේ අනුමතවෙන්න කියල උදාගම් බිමට ඇවිත් තියෙනවා. ඔහොම කයියක් හෙම දාගෙන ඉන්නකොට එකපාරටම ජීප් එකක් ඇවිත් වැඩබිමේ නවත්තලා.




දැන් වෙලාව පාන්දර දෙකට විතර ඇතිලු. ජීප් එකෙන් සුදුපාට කොට කලිසමක් ඇඳ ගත්ත කෙනෙකුයි, තවත් හතර දෙනෙකුයි බැහැල ඉදිරියට ඇවිත්. සුදුකොට කලිසම් මහත්තයා අපේ අපේ තාත්තල දෙසට අත දික්කරල වැඩබිමේ හිටපු තවත් මහත්තයෙකුගෙන් මොනවාදෝ අහල වැඩබිම ඇතුලටම පයින් ගිහින්. ඉතින් රාත්‍රිය විවේක සුවයෙන් ගතකරල දෙන්න එක්ක නින්දට ගිහින් තියෙනවා. පහුවෙනිදා තමයි දැනගෙන තියෙන්නෙ ඒ ඇවිත් තියෙන්නෙ ප්‍රේමදාස මහත්තයා කියල. උන්දැ ඔයවගේ වැඩබිම්වලට නොකියාම එනවලු වැඩ පරීක්ෂා කරල යන්න.

ගම්උදාව විවෘත කිරීමට තව දින දෙකකට වාඩා නෑ. ඉතින් එදා රාත්‍රියේම එතුමා ආපන ශාලාව පරීක්ෂා කරන්නත් ගෙහුන් තිබුන. ඒකෙ වැඩ නිම වෙලා තිබුනත් පොලවට කාපට් දාලා තිබිල නෑ. ඉතින් ප්‍රේමදාස මහත්තයා ආපනශාලාව නිම කිරීම භාර මහත්තයගෙන් ඒ ගැන විමසල තියෙනවා. ඔහු කියල තියෙන්නෙ කතරගම හැම තැනම බැලුවත් කාපට් හොයාගන්න ලැබුනේ නෑ කියල. ඉතින් කොලඹ ගියානම් ගෙනෙන්ට හැකිනෙව කියල එතුමා අහල. අපේ සේරම වාහන වැඩ බිමේ වැඩවලට අරං තියෙන්නේ මහත්තයෝ කියල ආපනශාලාව භාර නිලධාරිතුමා පිලිතුරු දීලා. ලඟ හිටපු කෙනෙකුට කතා කරල එතුමා කියල අර අපේ ජීප් එකක් මේ මහත්තයට දෙන්න කොලඹ ගිහින් එන්න. දැන්ම ගියොත් හෙට හවස් වෙනකොට එන්නට හැකි නෙව. මම අනිද්ද උදේට එන්නම්කෝ, ඒවෙන කොට කාපට් ටික එලන්න පිලිවන්නේ. කීවත් වගේ කියපු දා උදේම ආපනශාලාව පරීක්ෂා කරන්න එතුමා නැවත ඇවිත් තිබුනා.