මහා වාලිම්ඹයේ ත්‍රිකෝණමිතික
ස්ථානය පරීක්ෂා කරීම සඳහා මංගල ඔය දිගේ ගිය ගමනේ දී, කොටි හපුවෙකුගෙයි, ගෝනෙකුගෙයි
ඔට්ටු සෙල්ලම බලපු හැටි පසුගිය ලිපියෙන් ඔයාල දැනගන්න ඇතිනේ.
ඉතින්, ආයෙමත් අපේ මිනින්දෝරු
පාටිය මහා වාලිම්ඹේ තරණය කරපු හැටි කියන්නයි මේ හදන්නෙ.
ඕන්න ආයෙමත් කට්ටිය ගමන්
ආරම්භ කරල අඩි දෙක තුනක් ඉස්සරහට යනකොට අපේ තුවක්කු රාළ එක් ගසක් ලඟ නැවතුනා.
බයවෙන්න කාරිනෑ උන්දැ කොල අත්තක් කඩලා තවත් අතු දෙබලක ඒක එල්ලන ගමන්, කැලෑ සතාට අපෙන්
ආරෝවක් නෑ උන්දැලගෙන් අපට ආරෝවකුත් නෑ, කැලෑ මහත්තැන්ටත්, උන්දැ පරිවාර පිරිසටත්
මටත් අය්යනායක දෙව්තුමන්ගේ පිහිටයි ආරක්ෂාවයි! කියල දේව කන්නලව්වකුත් කලාලු. ඒක මේ
ගමේ මිනිසුන්ගේ විශ්වාසයක්. ඉතින් ඔහොම ඉස්සරහට යනකොට අර කීව ලී ඉරන වාඩිය දකින්න
ලැබුනලු. හැබැයි කවුරුවත් පේන්න ඉඳල නෑ. ලී ඉරන්න ආපු පිරිස වාඩිය අත ඇරල දාල
ගිහින්. ඔන්න ඉතින් මිනින්දෝරු පාටියේ පිරිස දවාලට ගෙනාපු බත්මුල් ලිහාගෙන
සප්පායම් වෙලා කාරිය නැවතත් ගමන පටන් ගත්තා.
ඔන්න ඉතින් දුෂ්කර ගමනේ අතිදුෂ්කරම කොටසට දැන් කට්ටිය
කිට්ටු කරලා. මෙතැනින් එහාට කඳු මුදුනට යන පාර අපේ තුවක්කු රාළත් දැනන් ඉඳල නෑ.
දැන් හොඳටෝම රෑ බෝවේගනත් එනවා. මුදුනට යන්න ඕන හිතේ හෝදිසියෙන් අනුමාන කරන දිසාවට
පාර කපාගෙනලු. බැලූ බැල්මට දැන් තියෙන්නෙ තනි හෙල උඩට නගින්න. ඒ මදිවට හැම තැනම
දිය සීරාවල්, දිය සීරාවට වැඩුනු මීවන වර්ග, පෙඳ පාසි. දැන් පිරිසේ එක් එක් අය එක්
එක් යෝජනා ගේනවලු. දන්නවනෙ ඉතින් කස්ටියක් එක්ක මේවගේ ගමනක් යනකොට විවධාකාර අදහස්
උදහස් මතුවෙනවනේ. කෙනෙකු කියනවලු, ,මේ හෙල නගින්න නම් හොඳ හයිය කඹයක් ඕන. ඒක නිසා
දැන් අපහු පල්ලම් බැහැල ගිහින් වෙන දවසක් හොඳට ලෑස්ති වෙලා එමු කියලා. මහ කැලේ
මැදින් කරුවල වැටෙන වෙලාවේ ආපහු යන එක අවදානම් වැඩක්. එවගේම ආපසු ගියොත් නැවතත් මේ
දුෂ්කර ගමනම ගෙවාගෙන එන්නට වෙන බවත් තේරුම්
ගත්ත අපේ නඩේ ගුරුතුමා තීරනය කලා පසුදා එලිය වැටෙනකම් කැලේම ඉඳලා උදෙන්ම හෙල තරනය
කරන්න.
තවත් ටික දුරක් හෙල වටේ සෝදිසි කරන කොට ගල්කුලක් දකින්න
ලැබිල තියෙනවා. කට්ටිය එතන සුද්ද කරල ගිනිමැල ගහගෙන රැය පහන් කරන්න තීරණය කරල. රෑට
ඉතින් ගෙනාපු වතුර විතරයි. ඔහොම ඉන්න කොට ඉතින් ටිකටික සීතල වෙන්නත් පටන් අරන්.
සීතලට අපේ පිරිස ලඟ තිබිල තියෙන්නෙ බීඩි විතරයි. ගෙනාපු සිගරට් එහෙම ඉවර වුනාම
ඔන්න නඩේ ගුරාත් බීඩියට බැස්සලු. මොකද ඉතින් එක දවසින් අහවර කරල එන්න ගිය ගමනක්
නිසා වෙන මුකුත් බීම ජාති හෙම අරගෙන ගිහිනුත් නෑ. ඉතින් ඔහොම ගල් කුලට හේත්තුව
දාගෙන ඉන්නකොට පහලින් ඇහෙනවලු අලි කෑ ගහනව. වන සතුන්ගේ සද්ද අහගෙන මුලු රෑම
නිදිනැතිව පහන් කරන්න සිද්ද වුනාලු. අදටත් මහ වනමැද සතාසීපාව සමග රැය පහන් කරන්න
ලැබෙන එක තරම් ආස්වාදජනක දෙයක් අපේ තාත්තට නෑ.
ඔන්න ඉතින් පහුවෙනිදා උදෙන්ම වතුර බීල කට්ටිය දැන් සූදානම
හෙල තරනය කරන්නයි. අල්ලන අල්ලන තැන ලිස්සල යනවාලු. ඉතාම දුෂ්කර මෙන්ම අති භයානක ගමන
තමයි දැන් තියෙන්නෙ. ඉදිරියෙන් යන කෙනාගේ පය තියපු තැනට පහල කෙනා අත් තියල තද කරල
අල්ල ගත්තම තමයි උඩින් ඉන්න කෙනාට ඊලඟ අඩිය ඉස්සරහට තියන්න පිලිවන් වෙන්නෙ. මේ
විදියට මුදුන ආසන්නයටම අපේ පිරිස කොහොම හරි නැගගෙන. ඉතිරි ටික අඩි විස්සක් තිහක්
පමණ තනි කලුගල. එක් එල්ලේ ඉහලට විහිදීලා තියෙනවාලු. මෙතැන් සිට යන්න තියෙන්නෙ කලුගලේම
තියෙන සපත්තුවක් තරම් පලල කට්ටයක ගල බදාගෙන බොහොම සීරු මාරුවට. එක පයක් වරදුනොත්
අඩි හත් අට සීයයක් පමණ පහලට පාවෙන්න පිලිවන්ලු. කොහොම හරි නඩේ පස් දෙනෙකුට ඔන්න
මහා වාලිම්ඹේ මුදුන් හිනිපෙත්තට ලඟාවෙන්න වාසනාව ලැබිල.
පහලින් සුද්ද කර ගෙනාපු වැල් පොටවල් උදව්වෙන් අවශය අනිත්
අඩුම කුඩුම ඉහලට අරගෙන මිනුම් රාජකාරිය සිද්ද කරල, දැන් ලෑහැස්තිය අර ත්‍රිකෝණමිතික
ස්ථානය කෙලින් ලී කණුවක් සවි කිරීමටයි. ඉතින් මේ ලීකණුව කෙලින් කරල වටේට ආධාරක
කණුත් තියල බැඳල හෙම මිනින්දෝරු පාටිය දැන් ආපසු ගමන් අරඹලා. දැන් දහවල් තුන විතර
ඇතිලු.දෙවේලක්ම නිරාහාරව ඉඳල දැන් මේ තුන්වෙන් වේල පසුවීගෙන යන වෙලාව. මේ වෙලාවේ අපේ
පිරිසට දකින්න ලැබිල තියෙනවා කිතුලක්. අලි ඉන්න වනන්තරේ මෙතරම් සරුවට වැඩුනු තනි
කිතුල් ගහක් දකින්න ලැබීමත් හරිම පුදුම දෙයක්. කිට්ටු කරල බලනකොට මේ කිතුල තිබිල
තියෙන්නෙ ගල් දෙබොක්කාවක් පල්ලෙ. අලියට යන්න බැරි විදියටලු. ඔන්න ඉතින් පිරිස දවල්
ආහාරය ලෙස කිතුල් බඩ කපාගෙන සප්පායම් වුනාලු.
සවස් වෙන විට කට්ටිය කොහොම හරි කඳුපාමුලට ඇවිල්ල මංගල ඔයට
වැටුනලු. දැන් මංගල ඔය දිගේ පල්ලම් බහින එක ලේසියිලු කැලෑවෙන් යනවට වඩා. ඔහොම ටික
දුරක් එනකොට, මංගල ඔය ගලා බසිනවලු ලස්සනට වවාපු හේනක් මැදින්. හේනක්ය කීවට මේක ගන්ජා
හේනක්. අනේ අපේ ඩයිමන් ගොයියගේ මහන්සිය කොහෙන් ගියාද නෑ කියල මනිහ උගුල්ලන්න තියා
ගත්තෙ නැතෑ අර ලස්සනට වැවිච්චා. මේක දැකපු තව කීප දෙනෙකුත් වැඩේට හවුල් වුනාලු.
හැබැයි ඕන් නඩේ ගුරුතුමා අවවාදයක් දීල තියෙනවා, මහ ඔයට නම් ඕව ජීප් එකේ දාගෙන යන්න
ලෑස්තිවෙන්න එපා කියලා. මෙහෙම පල්ලම් බහින කට්ටියට තව ටිකක් යනකොට පොඩි කඩ පොඩ්ඩක්
මුණගැහුනලු. ගිමන් නිවන්න කඩේට ගොඩ වෙලා අල්මාරියේ තිබුනු ඤානකතා ටිකට වගකියල
ප්ලේන්ටියක් හෙම සප්පායම් උනාලු. මිනින්දෝරු පාටියේ පිරිසට තුන් වේලකට පසුව ලැබුනු
දිව්‍ය බෝජනය තමා ඔය. එදින රාත්‍රී හත පමණ වනවිට පිරිස ජීප් රථය නවත්තපු තැනට
ලඟාවෙලා තියෙනවා. අපේ තාත්තා මහා වාලිම්ඹය තරණය කරල තියෙන්නෙ ඔන්න ඔහොම තමා.
දැන් ඔය කොළ අතු නොබැඳ ගියා නම් මොකද වෙන්නේ? කොටියට අහුවෙනවද? අලින්ට මැදි වෙනවද?
ReplyDelete(පොස්ට් ආකයිව් කරන එක මාසෙන් මාසෙට කරන්න සෙට් කරන්න, දැන් දාලා තියෙන්නේ ඩේලි, එනිසා පරණ ලිපිය කියවන්න දෙපාරක් තුන්පාරක් ක්ලික් කරන්න ඕනැ!)
ඔය කොල අතු එල්ලල ගමන් ආරම්භ කිරීම ඒ කාලේ බොහෝ පලාත් වල තිබුනු විශ්වාසයක් නොවැ. අපේ තාත්තත් ගමේ මිනිසුන් කියන ඒවට විරුද්ධ වෙන්න ගිහින් නෑ. විශ්වාස කරන්න තවම කිසිම සතෙකුගෙන් අතුරු ආන්තරාවක් අපේ තාත්තට වෙලා නෑ. ඒව ගැන තව කතා ඉදිරියේ දී ලියන්නම් කෝ.
ReplyDeleteස්තූතියි උපදේශයට. ඕං මන්ත්ලි දැම්මා.