Friday, May 23, 2014

සීතල නුවර එළිය (නොහොත් ජාත්‍යාලය 1)

මේ කියන්න යන කතාව නම් ඉතා බිහිසුණු මිනින්දෝරු අත්දැකීමක්. එදා ඒ සිදුවීම සිදුවන විට මමත් අපේ තාත්තා එක්ක මේ කියන ගමනට සහභාගීවෙලයි හිටියෙ.



මගේ අපොස උසස්පෙළ විභාගය අවසන් වෙලා ඉන්න කාලෙ අපේ තාත්තට නුවර එලියේ තේවතු කීපයක මැනුම් කටයුතු කරන්න යන්න සිද්ද වුනා. මාස තුනක්ම නුවර එලියේ නැවතිලා අපි  වැඩ කලා.
ෂීන් එස්ටේට්, ඩන්සිනන් එස්ටේට් සහ බේබුරූක් එස්ටේට් කියල තේවතු  තුනක් මැනල ලෙවල් නොහොත් තලමිතික පිඹුරු සකස් කරන්න තමයි තිබුනේ.

අපි මුලින්ම වැඩකලේ ෂීන් එස්ටේට් එකේ. ඒක තිබුනේ පූඩලු ඔය - නුවර එලිය පාරෙ. මේක ඉතාම පටු පාරක්. හැබැයි හරිම ලස්සන පලාත. අපේ මිනින්දෝරු නඩේට නවතින්න සුපිරින්ටන්ඩන් බංගලාවක් ලෑස්ති කරලයි තිබුනේ. අපිට කෑම ගත්තෙ පාර අද්දර තිබුනු පොඩි කඩ පොඩ්ඩකින්.



හැමදාම උදේ හත වෙද්දි අපි තේ වත්තට යනවා. නවය විතර වෙනකම් කට්ටිය එක දිගට වැඩ. පිරිසට කෑම සප්ලයි කරන එක භාරව හිටියේ මං තමයි. පලමු දවසේ උදේ වැඩට යන ගමන් අපි රොටි හදන්න කියල කඩේට කියලයි ගියේ. කැබිනට් අල්මාරියේ පේන්න තිබුනු ලුණු මිරිස කොල පාටට තිබුනු නිසා ටිකක් සැරට අපේ ලුණු මිරිස හදන්න කියලත් කීව. මොකද මේ දවස් වල හරිම සීතල කාලගුනයක් තමයි එහේ තිබුනේ.


උදේ නවයට විතර මං ගිහින් රොටි පාර්සලයයි තේවතුරයි අරං අවා. රොටියි ලූණූ මිරිසයි හරිම රසට හදල තිබුන. ලුණු මිරිසෙත් හරි අමුතු රසයක් තිබුන නිසා මගේ කෑදර කමට රොටිත් එක්ක ලුණු මිරිස් කන්නෙ නැතිව ලුණු මිරිස් එක්ක රොටි කෑව. මගෙ අම්මෝ දාඩිය දාල බඩයි කටයි දැවිල්ල ගන්න ගත්තෙ නැතෑ. බැලින්නම් ලූනූ මිරිස හදල තියෙන්නෙ නයි කොච්චි විශේෂයකින්ලු. වැඩි වෙලාවක් මෙහෙම කන්න ලැබුනෙ නෑ, අනිත් අයගෙත් ඇඟපතට දාඩිය දාල. අපරාදෙ කියන්න බෑ මේ ලුණු මිරිසෙ සැර දිවට දැනෙන්න ගත්තෙ තැපෑලෙන්. පාන්දර සීතලට කියාපු කෑම. 

මේ කාලය තුල සමහර දවස් වලට උදේට වැස්සකුත් ඇදහැලෙන්න ගත්තා. කූඩැල්ලො විමානෙ. තේ වත්තට උපකරන ආම්පන්නත් අරං නැග්ගට පස්සෙ අපි වැස්ස කියල වැඩ නැවැත්තුවෙ නෑ. තෙමීගෙනම වැඩ කලා. හරිම සුන්දර කාල පරිච්ජේදයක්. තේ දලු නෙලන පුරුදු කාරයො වැස්සට ගෙවල් වල, අපි වැඩ. ඒ අයට අපි ගැන හරි පුදුමයි. මං ඔය කියපු ෂින් තේ වත්ත ඉස්සරහ අනික් කඳුගැටේ තිබුන පොඩි දිය ඇල්ලක්. හරිම ලස්සනයි. වැඩ කරද්දි ඕක දිහා බලාගෙන ඉන්න ගිහින් තාත්තාගෙන් බැනුම් අහපු වෙලාවලුත් තිබුනා. වැස්ස පටන් අරං විනාඩි හතක් අටක් යන කොට බලා ඉන්දැද්දිම දිය ඇල්ලෙ පාට බොර වෙනවා. තවත් විනාඩි හතරක් පහක් යන කොට දිය ඇල්ලෙ පළල එකපාරටම වැඩිවෙනවා. බලා ඉන්න හරිම ලස්සන දර්ශනයක්. වැස්ස තුරල් කරන කොට හුලං හමන්න ගන්නවා. මේ වෙලාවටනම් ඉවසන්න බැරි සීතලක් එක්ක කන් පෙති හිරිවැටීගෙන යනවා. ඒත් ඒ පරිසරයේ චමත්කාරය විඳින්නෙ නැතුව දුවන්න හරිම ලෝබයි. මුලු සර්වාංගයම තෙත බරිතවෙලා. කොන්ඩා දිගේ වතුර බේරෙනවා. අපි දවල් කෑම වෙලාව වෙනකම් එක සීරුවටම වැඩ කරලා තමයි පහලට බහින්නේ.

අපි නැවතුන බංගලාවෙ උණු වතුර ගීසර් තිබුනෙ නෑ. ඉලෙක්ට්‍රික් හීටරයක් අරං තමයි වතුර රත් කරගත්තෙ. රෑටයි උදේටයි පට්ට සීතලයි. කොටින්ම කියනවනම් ශරීරකෘත්‍ය කරන්නත් අපි හීටරය ගහල වතුර නටවගෙන තමයි ගියේ. එත් විනාඩි හත අටකින් ඒකත් හොඳගානට නිවිලා. රෑට නිදාගන්න කලින් අපි ඇඳ උඩ අයන් එක ගහලා ඇඳ රත් කරලා තමයි ඇඳට පනින්නේ.

ඒ කාලෙ රථ ගාය උපරිමයෙන් තිබුනු මං ඉතාමත් ආසා කලේ උදේ පාන්දර තේ කඳු මැද්දෙන් අපේ කාර් එක එලවගෙන යන්නයි. ඒ මම රියදුරු බලපත්‍රය ගත්ත අලුත. තනි වාහනයක පලලට තියෙන මේ පාර වල් වල තට්ට තනියෙන් ඉහල පහල වාහනය පදවන හැටි දැකල‍ අපේ තාත්තාට මාගැන හොඳ විශ්වාසයක් මෙන්ම පුදුමයකුත් ඇතිකරන්න සමත් වුන එක මේ කාලපරිච්ජේදය මගේ ජීවිතයේ සිදුවූ විශේෂ දෙයක් වුනා.




ඉතා බිහිසුණුම අත්දැකීම විඳින්න සිදුවුනේ ඩන්සිනන් තේ වත්තෙ වැඩ කරන අතරතුරේදියි. ඒ දීපවාලි දවසක්. අද ලිපිය දිග වැඩියි කියල හිතුන නිසා ඒ අත්දැකීම ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්නකෝ.

20 comments :

  1. භයානක මොකක්වත් මේකේ නැහැනේ.. හැක්.. ජය වේවා.. ලියහං ලියහං..

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගත්තට මොකද ලියාගෙන යද්දි ලිපිය දිග වැඩියි කියල හිතුන. භයානක කොටස කොටස ඊලඟ ලිපියෙන් ලියන්නම්.

      Delete
  2. ඔබගේ පියාගේ අසනීප තත්වය කොහාෙමද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ. තාත්තා දැන් ටිකක් සනීප වේගන එනවා.

      Delete
  3. මගේ පොඩි කාලය ගෙවුණෙත් කඳපොළ මෙරිගෝල්ඩ් ස්ටේට්ස් එකේ. මට මේ සටහනත් එක්ක ඒ අතිතය මතක් වුණා. බලමු වෙච්ච ඇබැද්දිය එහෙනං ඊළග පෝස්ට් එකෙන්වත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් මේ පැත්තෙ අවාට. දිගටම එන්න. ඊලඟ පෝස්ට් එක ඉක්මනින්ම දාන්නම්.

      Delete
  4. ඔන්න ගෙනිහින් එල්ලගත්තා,දැන් පෝස්ට් මිස්වෙන එකක් නෑ.

    ReplyDelete
  5. කෝ යකෝ භයානක මෙව්වා එක

    ReplyDelete
    Replies
    1. කියන්නම් කියන්නම් ඉවසල හිටු. මේ ඒ ගමනෙ මුල් කොටස. ඊලඟ පොස්ටුව අද හෙටම දාන්නම්. මමත් ඉතින් මහ රෑ කාමරේට ආපුවාම තමයි මෙව්ව කොටන්නේ.

      (තරහ වෙන්න එපා යාලුවා. මේක මගේ බොක්කටම වැදිච්ච පට්ට ගමනක් හා සත්‍ය සිදුවීමක් නිසා ලිපිය දිග වැඩියි.)

      Delete
  6. ඕ යේස් .පත්තර මල්ලිත් ආවා .. ඕං රහයි බොස්.දිගටම ලියාගෙන යං.අපි එන්නං !!

    ReplyDelete
    Replies
    1. තැන්කියූ වේවා. එන්න එන්න දිගටම එන්න.

      Delete
  7. මාත් ඉන්නෙ තේවත්තක් මැද. ඒ වගේම දිනපතා යද්දි එද්දි දකින්නෙත් තේ වතු.ඒත් පහතරට තේ වතු උඩරට තේ වතු තරම් ලස්සන නැහැ.

    ReplyDelete
    Replies
    1. ඊ ලඟ ලිපියක් ඇවිත් බලන්නකෝ.

      Delete
  8. මිනින්දෝරු බ්ලොග් එකක්! මම මේ හැලපයගේ බ්ලොග් රෝලෙන් අහම්බෙන් දැකලා ගොඩවුනේ. විශේෂයෙන්ම පෝස්ට් එකේ මාතෘකාව දැකලා. බදුලු කෝච්චි චාරිකාවක් ගැන මමත් මෑතකදි පෝස්ට් පහක්ම ලිව්වා.

    හොඳ ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි. දිගටම එන්න.

      Delete
  9. භයානක ටික නැතත් කමක් නෑ අර ලුණු මිරිසුයි රොටීයි ගැන කියපු එකනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලිපියේ ඉතුරු ටික අද හෙටම දාන්නම් කෝ

      Delete
  10. දැං ඔය පින්තුරේ ඉන්න තුන් දෙනාගෙන් තෙලිදිය වාඩිය කවුදෑ...

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.. ඔය ඉන්නෙ හරි මැද විරාජමානව තෙලිදිය තමා.
      මගෙ දකුනෙන් තාත්තා වමෙන් පොඩි මස්සිනා.

      Delete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)