Friday, May 16, 2014

අගුණකොලේ හුට්ටප්පරේ



අද මං ලියන්න යන්නේ අපේ නැණස යාලුවො සෙට් එකට වෙච්චි තවත් ඇබැද්දියක් ගැනයි. දැං ඔය නැණස කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති යාලුවො ඉන්නව නම් දුටු ගැමුණු සීගිරි කාශ්‍යප යුද්ධය ලිපිය කියවල බලන්නකෝ.



ඔන්න ඉතිං අපේ නැණසේ සෙට් එකේ එකෙක් තමයි ඔය වැල් මංජු. මේ හාදයට වැල් මංජුව කියල කියන්න ගත්තෙ ඒකගෙ ගම්පලාත ගැන විසතරයක් කියන්න ගිහින් වෙච්චි පොඩි කතා බහක් නිසා. නමින් මංජුල වුන අපේ යාලුවගෙ ගම් පලාත උනේ අගුණකොලේ. ඒකිවුවෙ අගුණකොල පැලැස්ස. අපේ සෙට් එකට මේ නම ඇහැවුවම ටිකක් අමුතුයි. කවුරුත් මේ කියන දිහා කවදාවත් ගිහිනුත් නෑ. ඉතිං අපි මේ ගමට යන පාර මේකගෙන් අහද්දි, විස්තරේ දුන්නෙ මේ විදියට, උඹල දන්නවනේ මාතර. මාතර පහුකරල තව ටිකක් කතරගම පැත්තට එනකොට දෙවුන්දර පහුවෙනව ඊට පස්සෙ මාලියද්ද, බතීගම, දික්වැල්ල පහුකරං එනකොට කුඩාවැල්ල හුම්මානයත් බලාගෙන තංගල්ලට එන්නෝන. එතන ඉඳන් ආයෙ නෙටොල් පිටිය, රන්න පහුකරල හම්බන්තොට පාරෙ හුංගමට එන්නෝන. හුංගමින් වමට හැරෙන්න තියෙනව අගුණ කොලේ පාරට. ඊට පස්සෙ ඉතිං පත්ත මලුව, මුලන, එරමිණියාය, අඟුණකොල පැලැස්ස. මේ විස්තරෙ අහගෙන හිටපු අපේ රංජා කියාපි එතන ඉඳන් මුන්ගෙ ගෙදෙට්ට යන්න ඕන නම් තව හූවයි වැල් දෙකයි කියල. එදා ඉඳන් අපි කාටත් මේක වැල් මංජුව.

            ඔන්න දැං තමයි කතාව කියන්න හදන්නේ. තවත් අපේ විභාගයක් ඉවර වුනු නිවාඩුවකට කට්ටිය අඟුණ කොලේ යන්න දාගත්තා. අපේ තව යාලුවෙක් උන්දැගෙ අපපොච්චාගේ කැබ් එක ඉල්ලා ගත්ත ගමනට. අප්පොච්චලාගෙ වාහන නෙව. ඉතින් ගමනට සෙට්වුන හැම එකාම පලපුරුදු ඩැයිවරල වෙලා. හප්පේ දුකේ බෑ, කැබ් එක දැන් කාගෙත් සුන්දරී වගේ. කොහොම කොහොම හරි ගාල්ලටත් කට්ටිය ආව. දැන් කැබ් එක කෙඳිරි ගගා තමයි යන්නෙ. අයිතිකාරයගෙ පලුයවනව මේ වෙනකොට, දිරච්ච ලදරමක් ඇරං ආවට. දැං මේ වෙනකොට ඩයිවර්ල හතරක් පහක් මේක එලෝල. තව තුන් දෙනෙක් වේටින් ලිසිට් එකේ. වැඩිය දුර ගියේ නෑ මේක හුච හුච ගාල මග හිට්ටෙ නැතෑ. බැලිං නම් බ්රේක් බයින්ඩ් වෙලා. පස්සා රෝද දෙකත් ගිනියම් වෙලා. රෝද දෙක නිවෙනකම් ඉඳල, ලඟපාත ගැරේජ් එකක්වත් හොයාගෙන යන්න කියල හදද්දි නොවැ දැක්කෙ අපේ ඩැයිවර්ල හෑන්ඩ් බ්රේක් ඇදගෙනම තමයි මෙච්චර දුරක් ඇවිත් තියෙන්නෙ. සුන්දරීට බබා හම්බ උනාට මොකද තාත්ත කවුද කියල හොයන්න බෑ. දැං ඉතිං කීදෙනෙක් මේ විදියට එලෙව්වද කියල හොයන්නයැ, අන්තිමට එලවං ආපු එකාගේ කං දෙක කීං කීං ගාන්න මීපැණි වක්කරනවා. වාහනෙත් හදාගෙන සෙට් එක ගාලු කොටුවත් බලා කියාගෙන දවල්ටත් හෝටලේකින් සප්පායම් වෙලා හවස් කොරේ ආයෙත් ගමන් ආරම්භ කලා. දික්වැල්ල හරියෙ හොඳ තැනක් බලල බීච් එක අයිනෙ වාහනේ ඇතුලෙ තියාගෙනම කට්ටිය පදමට අනුමත උනාය කියලත් කියමුකෝ. කොහොමත් සෙට් එකම සුරලෝකෙට මීටර දෙක තුනක් මෙහායින් නවතින්න වගබලාගත්ත. අපේ වැල් මංජුව ඉස්  ඉස්සෙල්ලාම ගෙදෙට්ට යාලුවො ටික එක්කං යන දවස නෙව.

            හවස පහ හය වෙද්දී අපි යාලුවගෙ ගෙදර. උන්දැගෙ අම්මයි තාත්තයි එහෙමත් නැත්තම් අපේ ඇන්ටියි අංකලුයි අපිව බොහෝම සාදරයෙන් පිලිගත්ත. අපි එනව කියන ආරංචියට කාමර තුනකුත් ලෑස්ති කරල. ඔන්න ඉතින් අපි ඇඳුම් එහෙම මාරු කරල එකා එකා වොෂ් දාල අංකල් එක්ක කයියට සෙට් වෙලා ඉන්න කොට අර අපේ දුටුගැමුණුට පොඩි හිසරදයක් එක්ක කැරකිල්ලක් අල්ලල.  (දුටු ගැමුණු ගැන දන්නෙ නැති අය මේ ලිපිය බලන්න.) මොකද පුතේ හිසරදේද? ආ.. ඔව් ඇන්ටි. මේ.. මේ ටිකක් ඔලුව රිදෙනව වගේ.  ආ.. පුතේ දේශගුනේ වෙනස් වුන නිසා වෙන්න ඇති සමහර විට. ඉන්න මං සමහන් එක්ක හදාගෙන එන්නම්. මේක අහං හිටපු අංකල්, පුතේ නිකං ඔලුව බරවෙලා කරකැවිල්ල වගේ නේද?. ආ.. අංකල්. ටිකක් ඒ වගේ තමයි. ඕකට ඉතින් බත් ඩිංගක් කාල නිදාගත්ත නම් හෙට උදේ වෙනකොට ඇරිල යයි. අංකල්ට බඩු මාට්ටු වගේ. කොහොම උනත් ඇන්ටි හදාගෙන ආපු සමහන් වීදුරුව මෑන්ට බොන්නම උනා ඇන්ටිගෙ පෙරුත්තෙට. අංකල්ට හිනා.

            ඔය අතරෙදි අල්ලපු කාමරේ හිටපු අපේ බමුණු මල්ලි හායි ඌයි කියල කෑ ගහන්න ගත්ත. එකපාරටම මේකට මොකද උනේ කියල බලන්න අපි ගියා එහා කාමරේට. බමුණු මල්ලි කලිසම් පල්ල අල්ලං වේදනාවෙන් කෙඳිරි ගානවා. අංකලුත් මෙතෙන්ට දුවගෙන ආව. මොකද පුතේ උනේ. අං..ක..ල්... පත්තෑයා..  මේ... පත්තෑයෙක් ඇඳේ ඉඳල කෑවා.. අම්..මේ...    බමුණු මල්ලි තුනෙන් දෙකක් අල්ලං කෙඳිරි ගානවා. ඔය අල්ල පනල්ලෙ ඇන්ටිත් දුවං ආව මේ කලබැගෑනිය බලන්න. මොකද මොකද උනේ පුතාලෑ තාත්තේ. නෑ.. මේ.. මේ පුතාව පත්තෑ පැටියෙක් කාල. ඔහොම ඉන්නකෝ පුතේ මං ඉක්මනට එන්නම් කියල, ඇන්ටි ගෙට ගියා. ටිකකින් ඇන්ටි, ළූණු ගෙඩියක් කපාගෙන සිද්ධාලේප කුප්පියකුත් ඇරං ආවෙ නැතෑ. කෝ.. කෝ පුතේ කොහෙද කෑවේ. මේ ලූණු ගෙඩිය සතා කාපු තැන උරච්චි කරල, සිද්ධාලේප ටිකක් ගෑව නම් විස බහිනව ටක්කෙටම. අප්පට සිරි දැං ඇන්ටි ලෑස්තිය ළූණූ උරච්චි කොරන්න. අපේ සෙට් එකට හිනාව තද කරං තවත් ඉන්න බෑ. අංකලුත් හැක හැක ගාල හිනාවෙනව. හැබැයි ඇන්ටි දන්නෙ නෑ තාම සතා කාපු තැන. කටක් ඇරල ඇන්ටිට කියන්නද, උරච්චි කරන්න කියල පෙන්නන්නද. කට්ටියම හිනාවෙනව මිසක් මොකවත් කියන්නෙ නෑ. ඇන්ටිටත් ෆුල් අප්සෙට්. අන්තිමේ අංකල් ඉස්සර වුනා. මේ ඇහුනද ඔයා ඔන්න ඔය සිද්ධාලේප එක විතරක් තියල යන්න. පුතා ඒක ගාගනිවි. ළූණු ඕන නෑ. මේ වෙද්දි කෙඳිරි ගාපු එකත් ඇස්වල කඳුලු පුරෝගෙන හිනාවෙනව. ඔන්න ඔහොමයි අපේ අඟුන කොලේට ගිය පලමු ගමන.

7 comments :

  1. පොඩි උපදෙසක් දෙන්නම් මල පනින්නේ නැත්නම්. චේදයන් විශාල වැඩියි. පේලි යහක් හතක් හොඳටම ඇති. මොකද ගොඩාක් අය කියවන්න කලින් ළිපිය දිහා බලනවා. මෙහෙම ආපු ගමන් දිග ඒවා ලිව්වම කිසි කෙනෙක් බලන්නේ නෑ. පුළුවන් තරම් කෙටි කරලා ලියන්න. බ්ලොග් ලියන්න නම් හොඳම උදාහරණය වන "කතන්දර" බ්ලොග අඩවිය අධ්‍යයනය කරන්න.

    ReplyDelete
    Replies
    1. සතූතියි මාතලන් උපදේශයට. මොකට මල පනින්නද යාලුවා.

      Delete
    2. කෙටි කරන්ඩ එපා බං

      එක වචනයක්වත් අඩු කරන්ඩ එපා

      ඡේද විතරක් පොඩියට කඩහං

      ආපු ගමංද ඇවිත් කල් ගියාද අරකද මේක වැඩක් නැ

      දෙබස් තියන තැන් වලට දෙබස් වෙන්කරල ලියහං

      එතකොට පට්ට රහයි

      .....මේ බලහංකෝ.......


      ඔය අල්ල පනල්ලෙ ඇන්ටිත් දුවං ආව

      '' මොකද මොකද උනේ පුතාලෑ තාත්තේ ''

      ''මේ පුතාව පත්තෑ පැටියෙක් කාල''

      ''ඔහොම ඉන්නකෝ පුතේ මං ඉක්මනට එන්නම් ''

      කියල, ඇන්ටි ගෙට ගියා. ටිකකින් ඇන්ටි, ළූණු ගෙඩියක් කපාගෙන සිද්ධාලේප කුප්පියකුත් ඇරං ආවෙ නැතෑ.

      ''කෝ.. කෝ පුතේ කොහෙද කෑවේ. මේ ලූණු ගෙඩිය සතා කාපු තැන උරච්චි කරල, සිද්ධාලේප ටිකක් ගෑව නම් විස බහිනව ටක්කෙටම. ''

      අප්පට සිරි දැං ඇන්ටි ලෑස්තිය ළූණූ උරච්චි කොරන්න.

      පේ සෙට් එකට හිනාව තද කරං තවත් ඉන්න බෑ. අංකලුත් හැක හැක ගාල හිනාවෙනව. හැබැයි ඇන්ටි දන්නෙ නෑ තාම සතා කාපු තැන. කටක් ඇරල ඇන්ටිට කියන්නද, උරච්චි කරන්න කියල පෙන්නන්නද. කට්ටියම හිනාවෙනව මිසක් මොකවත් කියන්නෙ නෑ. ඇන්ටිටත් ෆුල් අප්සෙට්. අන්තිමේ අංකල් ඉස්සර වුනා.

      අධ්‍යයනය කරාට කමක් නැ අනුගමනය නං කරන්ඩ එපා .

      උඹගේ ස්ටයිල් එක උඹ හොයාගනින්

      Delete
    3. බොහෝම ස්තූතියි අටම්පහුර. ඉතාම වටිනා උපදේශයක්.

      Delete
  2. ඉහටත් උඩිං උපදෙස් දීල තියෙන්නේ දන්න කියන දෙන්නෙක්ම. අර පොටෝවේ තියෙන්නේ උඹල ගිය වාහනේමද බං.
    - නලින්

    ReplyDelete
    Replies
    1. නැහැ නලීන්, ඒක මං ගූගලෙන් හොයා ගත්තෙ.

      Delete
  3. ඔන්න මමත් බ්ලොග් එකක් හැදුවා ඒ පැත්තේත් ඇවිත් යන්න එන්න.http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)