Wednesday, September 9, 2015

ෆේස් බුක් චායි !

                    පහුගිය ටිකේ නම් ෆේස් බුක් එක චායි තමා. ටෙයියොයි බයියොයි යමරෙට ඇරගත්ත නෙව.  මේක කොයි වගේ බූවල්ලෙක්ද කියනවනම් අපේ මැකෝ තුමාටවත් ඇහැක් පියවගන්න දුන්නෙ නෑ. බැරිම තැන උන්දැත් ඇරියෙ නැතෑ ෆේස් බුක් පිටුවක්.

තව ඔය ඔලුබකු මූණු යොදාගෙන ආතල් කෑලි එහා මෙහා යන එකත් පටන් ගත්තෙ ෆේස් බුකුවෙන්ම තමා මං හිතන්නෙ. කාලයක් ෆුල්පේස් හෙලුමට් තහනමට එරෙහිව එක එකා මරා ගත්ත.  තව කාලයක් ෆේස්බුකුවෙන් ලව් කරන්න ගෙහුන් සාරිපොටවල් වල එල්ලිලා ඉලව් ගෙවල් හදා ගත්ත.

කට්ටියක් ධර්ම ප්‍රචාරය කරනව. එව්ව නං ඕං හොඳ වැඩ. තව කට්ටියක් හරක් නිදහස් කරනව. ඔය අතරෙ පිරිසක් ජාති ද්‍රෝහියෙලු, තව පිරිසක් ජාතිවාදියොලු, ජාතියක් ජම්මයක් නැති එවුවොත් ඒ අතරෙ හිටියද මංද.

ආ.. අමතක වුනා නෙව. කාලයක් බාල්දි සෙල්ලමක් තිබුන. නලුවොයි නිලියොයි, දේශ පාලුවොයි, කොල්ලොයි බල්ලොයි එකී මෙකී නොකී හැම ජාතියේම එවුන් ඔය බාල්දි සෙල්ලමෙන් නෑව.

පැත්තකට වෙලා කයියක් දෙකක් කියාගෙන, විරහවයි, රහවයි ගැන මනෝ ගහගෙන ඉන්න එවුනුත් ඉන්නවා. එවුන්ට ලෝකෙ පෙරලුනත් මෙලෝ රහක් නෑ.

ඉතිං ඔය එක එක ජාතියේ ෆේස් බුක් චංද, ෆේස් බුක් ලව්, ෆේස් බුක් බණ, ෆේස් බුක් හෙල්මට් වගේ දේවල් ලවක් දෙවක් නැතිව ෆේස්බුකුවෙ බල්ටි ගහල මේක ෆුල් චා වෙලානෙ තියෙන්නෙ.



ඔය වගේ ෆේස් බුක් චායි කතාවක් තමා මේ. මං හිතන්නෙ මගේ පෙර ලිපිය කියවපු හැමෝම දන්නව මං ඉන්නෙ GCC රටක කියල. මෙහේ ඉතිං ලංකාවෙ හැටියට ජීවත් වෙන්න බෑ. අපි මෙහේ ඉන්න ඕන මෙහේ හැටියට. කෑම ජාති එහෙමත් ලංකාවෙ වාගෙ කන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්.  ඒ ගැනත් මං මීට කලින් මෙන්න මේ ලිපියෙත් කියල තියෙනවා.

වැඩිපුරම මේ රටවල ඉන්නෙ ඉන්දියානුවො. ඉන්දියානුවො කීවට කේරලෙ අය. අපේ ලංකාවෙ කෙනෙකුගෙන් “Where are you from” කියල ඇහුවොත් කියන්නෙ “I am from Sri Lanka” කියලනෙ. මුංගෙන් ඇහුවම කියන්නෙ, “Kerala” කියල. උන්ට රටට වඩා ලොකුයි උන්ගෙ ප්‍රාන්තෙ.

අපේ "මේඝ" කියල යාලුවෙකුට දවසක් ඔයවගේ තමුන් කොහේ ඉඳලද ආවෙ කියල ඇහුවම උත්තරෙ හම්බවුනේ කේරල කියල. මෙඝයත් නොදන්න එකා වගේ අහපි"

 ඔයි රට තියෙන්නෙ ලෝකෙ කොයි හරියෙද?

 මං අදමනේ ඇහුවෙ එහෙම රටක් ගැන.  

අඩුම තරමේ ඔයාලගෙ රටේ ක්‍රිකට් වත් ගැහුවනම් මං දැනං ඉන්නවනෙ.

බයිට් කලා ඌට කේරලේ එපා වෙන්නම. හැබැයි ඉතිං වැඩිය වලි දාගන්න යන්නෙ නෑ මොකද කියුමට කියන්නෙ මෙව්වයෙ පොලෝසි ගියොත් තුන්කාලෙන් තමා ආපහු එන්න වෙන්නෙ කියල .

මේ රටේ සාමාන්‍ය වැඩ කරන වෙලාවල් මෙහෙමයි. උදේ 08:00 – 12:00 වෙනකං වැඩ. 12:00 ඉඳන් 04:00 වෙනකං ඕෆ්. ආයෙත් 04:00 ඉඳන් රාත්‍රී 08:00 වෙනකං වැඩ තමා. ඉතිං අපේ ලංකාවෙ යාලුවො හුඟ දෙනෙක් උ‍දේට උයනවා දවල්ටත් එක්ක. රෑට ඔය කඩේකිං මෙනාහරි කාල තමා එන්නෙ.

මෙහේ ලංකා කඩ ඉතාම විරලයි. කේරල කඩ තමා වැඩි. දවසක් තෙලිදියත් වැඩ ඉවර වෙලා රූම් එකට යන ගමන් Modern Lanka Restaurant කියන කඩේට ගොඩවුනා කොත්තුවක් දෙසාබාන්න. අපි කියන්නෙ (ලංකා කඩේ කියල) මගේ කොත්තුව ඕඩර් කරල මං පුටුවක වාඩිවෙලා ඉන්නකොට ඒතෙන්ට ආව තව පකිස්තානු ජාතිකයෙක්. ගොඩක් පකිස්තානුවන්ව ඇඳිනගන්න ලේසියි. දිග රැවුලයි, පංජාබ් පිජාමා වගේ සූට් එකයි තමා එයාලගෙ අනන්‍යතාවය. පිජාමා කීවට ඒකෙ උඩ කෑල්ල දිගයි කකුල්දෙකේ දණහිසෙන් පහලටම. මේක ආපු ගමන්

ෆේස් බුක් චා..යි.. කියල කියපි.

මං හිතුව මට ඇහුන විදියේ දෝසයක් කියල. ආයෙත් ටිකකින්

ඒක් ෆේස් බුක් චා..යි.. කියල කෑ ගහපි.

ටිකකින් වේටර් කොලුවත් කිරි තේ කෝප්පයක් ගෙනැත් උන්දැට දීල ගියා. මටත් දැන් ෆුල් අඤ්ඤකොරොස්. මොකද්ද බොලේ මේ ෆේස් බුක් චායිය කියල. මාත් කොත්තුව දෙසාබාල බිල ගෙවන්න ගිය වෙලේ මුදලාලිගෙන් ඇහුව මොකද්ද බං අර ෆේස් බුක් චායි කියල අර මිනිහ බීවෙ.

ආ.. මහත්තය ඒ මේ කහට වැඩි, සීනි අඩු, කිරි තේකට කියන නමක් නේ.

මොකක්! මුදලාලි ඕකත් ඔය කේරල හරි පකිස් හරි නමක්ද,

නෑ මහත්තය මේකයි. 
දවසක් ඔය වගේ මනුස්සයෙක් මෙහේ ඇවිත් මුකුත් ඕඩර් කරන්නෙ නැතිව ෆෝන් එකෙන් ෆේස් බුක් එකේ අනං මනං කර කර හිටියනේ.

අපිත් බලං හිටිය මෑන් මොනා හරි දැන් ඕඩර් කරයි දැන් ඕඩර් කරයි කියල.

ඹ්හු ඕඩර් කරන පාටක් නෑ. බැරිම තැන මං ගිහින් මිනිහට කීව කරුණාකරල මහත්තය මුකුත් ඕඩර් කරන්නෙ නැත්නම් යන්න. මෙතන කාලෙ කන්නැතුව කියල. පස්සෙ මෑන්ස් මගේ දිහා බලන් ඉඳල අඩු සීනි වැඩි කහට කිරි තේ එකක් ඉල්ලුවා.

මෙහේ චායි කියන්නෙ කිරි තේ එකටනේ. (මේ තියෙන්නෙ "චායි" ගැන)
ඕං එදා ඉඳල අපේ එවුන් අඩු සීනි වැඩි කහට කිරි තේ වලට කියන්නෙ ෆේස් බුක් චායි කියල.

වෙලාවකට ෆේස් බුකියත් මේ වගේම තමා. කහටම කහටයි, මෙලෝ රහක් නෑ (හැබැයි වෙලාවකට ඈ...)



ප.ලි.  හරිනම් ඔය චායි එකට එනසහල්, කරද මුංගු, කරාබු නැටි, කුරුඳු පොතු වගේ එව්වත් දානවලු. එත් එහෙම චායියක් සාමාන්‍ය කඩවල ගන්න නෑ.

Friday, September 4, 2015

GCC බැචලර්

          මගේ පළමු සාර්ථක කෑම වට්ටෝරුව උයන්න ආස අයට මෙසේ පිළිගන්වමි. උයන්න දන්නෙ නැති අයටද මා මෙන් කිසිත් බියක් සැකක් රහිතව මෙය අත්හදා බැලිය හැකියි.


පහට එලාම් එක සෙට් කරලා
හීනත් දෙක තුනකුත් බලලා
ඇහැරෙන විට පහමාරවෙලා

හා …..  ඈනුමක්  හෙම යවලා...

කොට කලිසමකට මාරු වෙලා
සරමත් ඔලුවෙන් ගලවාලා
තව බඩ පිනුමක් හෙම  ගහලා
කිචන් එකට ගොස් දොර ඇරලා

ආ නෑ නෑ ටොයිලට් එකට ගිහින් කිචන් එකට යන්නෙ

ජෝගුව  වතුරෙන් පුරවාලා
කරන්ට් එකට ප්ලග් එක ගහලා

දැන් හොයපල්ලකො මග් එක...

නීඩෝ පිටි ටිකකුත් දාලා
සීනිත් තේ හැන්දක් දාලා
මදි නම් තව හැන්දක් දාලා
තේ කොල ටිකකුත් කලතාලා

නෑ නෑ එහෙම කරන්නෙ කේරලේ අය.
මම දානව ටී බෑග් එකක්. තේ වතුර වෙනම හදන්නයි පෙර පෙර ඉන්නයි ඕන්නෑ නෙ එතකොට.


දැන් පටන් ගමු උයන්න ඈ....

හාල් ටිකක් කෝප්පෙන් මැනලා
භාජනයක් ගෙන සෝදාලා

ඇයි කුකර් එකේ භාජනේ තියෙන්නේ
හ්ම් එහෙනම් ඒක ගමු

ආයෙත් පාරක් හෝදාලා
නැවතත් වතුරෙන් හෝදාලා
ආයෙත් වතුරෙන් හෝදාලා

නෑ නෑ තුන්පාරයි හෝදන්නෙ
ඊට පස්සෙ රයිස් කුකර් එකට තියල කුක් කරනවා.


තව භාජනයක් රාක්කයෙන්
අරගෙන සෝදා ඇල්වතුරෙන්
පරිප්පු දානව තේ හැන්දෙන්

නෑ.. මේස හැන්දෙන්... දාන්නෙ...

පරිප්පු ටික දෙපාරක් හොඳින් හෝදලා බේරල ගන්න ඕන.

පරිප්පු ටික අයිනට කරලා
අන්ක් පැත්ත පහලට කරලා
තෙල් ටිකකුත් යහමින් දාලා
කෑලි මිරිස් සහ සුදුලූණුත්
කරපිචත් හෝදල දාලා

අර පරිප්පු භාජනේම පහලට කරපු පැත්තෙන් තෙම්පරාදු කරගන්නවා.

කලුවෙන්නට පෙර මිරිස් ටික
දමන්ට ඕනෑ වතුර ටික

චූස් බූස් සද්දෙත් දාලා
කරි පවුඩර් ටිකකුත් දාලා
කහ ඩිංගක් හෙම හැඳිගාලා
භාජනයත් ලිප උඩ තියලා



දැන් තේක බොන්නෙ නැද්ද? ආ... ඒක ඔය අතරින් පතර බොනවලු.

රට ළූනුත් සුදු ළූනුත් හා
සුද්ද කරල කපලා තියලා
බොංචි කැරට් ටිකකුත් සෝදා
තේ ජුන්ඩක් බී හති නිවලා

පොල් කිරි ගන්නව කෝප්පෙට
දියකර ගන්නව මිටි කිරට
අහවර කරලා ඉන්නකොට

පරිප්පු එකේ වතුරත් හිඳිලලු

කිරි ටික හනිකට වක්කරලා
පරිප්පු හොඳ හැටි හැඳිගාලා

තව තේ ටිකක් බොමුනේ….


තව භාජනයක් ගෙනැවිල්ලා
සෝදල තෙල් ඩිංගක් දාලා
කපා ගත්තු ළූනුත් දාලා
හැඳිගාමින් ටෙම්පර් කරලා

ආ.. කෑලි මිරිස් ටිකකුයි කරපිංචා කොල දෙකකුයිත් දාගන්න ඕන ඈ....

බොංචි කැරට් කපලා ගත්තු
ඒ භාජනයට දමාගමු
වතුරත් පොඩ්ඩක් දමාගමු

එතකොට කරි පවුඩර්…..

අවශ්‍ය කියලා හිතෙනවනම් 
කරි පවුඩර් ටිකක් දාන්නත් පුලුවන්
ටිකක් ඉමුකො වහලා පියනෙන්

ටිකක් තැම්බෙන්න අරිමු නේද..

අනිත් ලිපේ ඇති පරිප්පුව
බාලා ලුණු ටික දානවද
කෝප්පෙ තව තේ තියෙනවද


තියෙනවනම් ඒකත් බීලා
මග් එක සෝදල නවා තියා


බෝංචි එකටත් ලුණු දාලා
ඒකෙ ලිපත් නිවලා දාලා
බිත්තරයක් බුල්සයි දාලා
උයා ගත්තු ටික පැක්කරලා
භාජන සෝදල අස් කරලා








දැන්නම් හොඳටම දාඩියයි. ගෙහුන් නාගන්න ඕන.

වෙලාව හතවෙද්දී ඔන්න
සේරම වැඩ ඉවරයි මෙන්න




ප.ලි.
වෑන් එක එන්නෙ අටට. ඉතින් හිතුනොත් තව පැය භාගයක් නිදාගන්නව.
GCC කියන්නෙ Gulf-Cooperation-Council (political and economic alliance of six Middle Eastern countries). මීට වඩා හොඳ අත්හදා බලපු රෙසිපි GCC වල තිබෙන්නට පිලිවන. මේ මාගේ අත්හදා බැලීමකි. උයපු මේ කෑම ටිකට, කෑම සෑදීමේ කලාවේ උපන් හපන් අපේ පොඩි අක්කාගෙන් සහ තවත් කීප දෙනෙකුගේ තත්ව සහතිකයක් ලැබී තිබේ.

වෙනත් මේවැනි කෑම වට්ටෝරු තිබේ නම් සහ මේ වට්ටෝරුව මොඩිෆයි කරීමට කැමති ඔබට මාගේ සුහද ඇරයුමයි මේ.