Showing posts with label වනජීවී. Show all posts
Showing posts with label වනජීවී. Show all posts

Friday, August 28, 2015

වැරදුණු කුරුමානම

අද මං කියන්න යන්නේත් 1960 ගණන් වල සිද්ධ වුනු සිදුවීමක්. මේකත් ඉතින් අපේ පියතුමාගේ රසවත් අත්දැකීමක් තමා.

ඔයාල දන්නවනේ තණමල්විල. ඔව් ඒකාලෙ ඉඳලම මල් වලට තමා ප්‍රසිද්ධ. එත් මේ තණමල්විල මල් ගැන නම් නෙමේ. එහේ තිබිල තියෙනවා තල්ගහ දිගන වැව කියල වැවක්. ඒක තියෙන්නෙ තණමල්විල ටවුන් එකේ (ටවුන් කීවට ඉතින් ඒකාලෙ පොඩි කඩමණ්ඩියක් තමා)  ඉදන් හැතැක්ම 7,8 ක් දුරින්. හැතැක්ම දෙකක් විතර වාහනයකින් ගිහින් කිරිඳි ඔයෙන් එගොඩවෙලා ඉතිරි දුර පයින්ම තමා යන්න ඕන.

මෑත කාලයේ තණමල්විල කඩමණ්ඩිය.

අපේ මිනින්දෝරු පාටිය කිරිඳි ඔය තරණය කරල, ඒ කිට්ටුවම කෑම්ප් එකත් සවි කළාලු. ඒ දවස්වල එහෙම තමා. ඔයක් දිය පාරක් ලඟ තමා කූඩාරම් ගහන්නෙ. කොයි දේටත් පහසුයි නේ. ඔය කිරිඳි ඔය හිටපු ගමන් වතුර වැඩිවෙලා දෙගොඩතලා යනවලු. එහෙම වුණාම ඉතින් ගමනා ගමනය අති දුෂ්කරයි. ඉතින් අපේ පිරිස ගඟේ එගොඩ මෙගොඩ යා කරල හොඳ හයිය කඹයක් ඉවුරු දෙකේ ගස් දෙකක ගැට ගහනවලු.  අමුත්තෙක් එහෙම කෑම්ප් එකට එනවනම් ඇඳි පුටුවකට හයිය ලී දෙකක් ගැටගහල පොඩි දෝලාවක් වගේ එකක් හදාගෙන මිනිස්සු හතර දෙනෙක් දාල ඒකෙන් තමා එගොඩ කරන්නෙ. වතුර වැඩි වුනාම කඹය අල්ලන් තමා එගොඩ මෙගොඩ යන්නෙ. වතුර පාර සැර වැඩි වුණාම කඹේ එල්ලිලා හරහට තමා යන්නෙ. කකුල් ඔය පතුලෙ වදින්නෙ නෑ.

කිරිඳි ඔය

මිනින්දෝරු කූඩාරමක් සහ එහි නිදන කුටිය

ඔන්න ඉතින් කට්ටිය පහුවදා උදෙන්ම වැව මනින්න යන්න අඩුම කුඩුමත් ලෑස්ති කොරාන කෑම්ප් එකෙන් පිටත් වුණාලු. ඔය අපේ පාටියට තුවක්කු රාළ කෙනෙකුත් ඉන්නව නෙව. එයා තමා පාර පෙන්නන්නත් එක්කල ඉස්සර වෙන්නෙ. මේ කැලෑවෙ ඒ දවස්වල අඩිපාරවල් විතරයි තිබිල තියෙන්නෙ. වන සතෙක් මිසක් අතර මගදි මිනිස් පුලුටක් හමුවන්නෙ බොහොම කලාතුරකින්. මග දිගට හමුවෙන තරමක ගස් වලට කැත්තෙන් කොටලා පොත්තක් ගහන්න වෙනම කෙනෙකුත් උන්නලු. 

මේ යාලුවොත් අතර මග නැතිවා නෙමේ ඈ. මෙයාල තමයි කැලේ අඩිපාරවල් රෙජිස්ටර් කරන උදවිය.



කැලේ අඩිපාරක්.


උදේ පාන්දර වන අසිරිය.

උදේම කුරුලු කොබෙයි ගීත නාදයෙන් මුසපත්වෙලා මෙහෙම ටික දුරක් යනකොට එක පාරටම තුවක්කු රාළ පිරිසට අතින් සංඥාවක් කරල හුන් තැනම පහත් වුනාලු. කාණ්ඩෙ මෙහෙම විනාඩි 10ක් 15ක් බලා ඉන්නවලු. තුවක්කු රාළත් කිසිම හැල හොල්මනක් නැතිව ඉදිරිය බලා ගත්තු ගමන්ම. අපේ තාත්තත් හිමීට පොලවට නොදැනෙන්න තුවක්කු රාලට කිට්ටු කරල බැලින්නම් තඩි කොටි හපුයියෙක් ගස් දෙබලක් උඩ. ඒක උන්නෙ අපේ පිරිසට පිටුපාල. ගහ යට පොඩි දියකඩිත්තකුත් කියෙනවලු. කොටි හපුවත් හැලහොල්මනක් නැතිව ඉදිරිය බලාගත්තු ගමන්. සාමාන්‍යයෙන් මේ විදියට ඉන්නෙ උගෙ ඉදිරියෙ ගොදුරක් තියෙනවනම් තමයි. ඒත් දිය කඩිත්තෙවත් ඒ ඉවුරෙවත් කිසිම සතෙක් නෑ. සමහර විට මේකට අපිට නොපෙනෙන යමක් කෑලෑවෙන් දිය කඩිත්ත දෙසට මතු වෙනකම් ඉන්නව වෙන්නත් පුලුවන්.


මෙහෙම ටික වෙලාවක් හිටපු තුවක්කු රාළ, ගිනි කඳෙත් සූජානම් කරගෙන ටිකෙන් ටික ගස් දෙබලට කිටටු කළාලු.  අතින් සංඥාවක් කරල අපේ පියතුමාවත් ලඟට ගෙන්න ගත්ත. තව ටිකක් හොඳට බලාගෙන ඉන්න කොට පේනවලු, මැස්සො වගේ කුඩා සත්තු ජාතියක් කොටි හපුයියගෙ ඔලුව වටේ කැරකෙනව. ඉතින් තුවක්කු රාළ එකපාරටම නැගිටල ගිහින් කොටියගෙ පස්සා පැත්තට තුවක්කු බටෙන් ඇන්නෙ නැතෑ. හපොයි දෙවියනේ කට්ටියම හිතුවෙ එක්කො හපුයියා බයටම ගැසිසිලා දුවයි නැත්නමි ආපහු හැරිල තුවක්කු රාළත් එක්කල ද්වන්ද සටනක් දෙයි කියල. සමහරු ඇස්දෙකත් පියාගෙනලු. තවත් අය හිතින් තුවක්කුරාළට බනිනවලු උණ්ඩ තියෙද්දි මොන එහෙකට බටෙන් ඇන්නද කියල.




වැරදුණු කුරුමානම


ඒත් බොලේ මේක ගස් දෙබලෙන් බිමට පතබෑ වෙච්චි ගෙම්බ පොලේ ගැහුව ගාණට.
හතර ගාතෙ හතර අතේ.

බැලින්නම් මේක පරලොව ගිය කොටියෙක් නෙවැ.

එකත් එකටම මූ දිය කඩිත්තට පැනල තියෙනවා මුවෙකුට හරි මී මින්නෙකුට හරි. උගේ කුරුමානම තිබිල තියෙන්නෙ ගස් දෙබල මැද්දෙන්. මේක ගස් දෙබලෙ හිරවෙලා.
මදැයි. එහෙ හැරෙන්නත් බෑ මෙහෙ හැරෙන්නත් බෑ.
ඒක එතනම පරලෝ සැපත්වෙලා.

ප.ලි...
ඒ කාලෙ කොටි හමක් කීවම ඉතින් අති දුර්ලභයි නේ. අපේ පියතුමාටත් දැන් උගේ හම ගෙනියන්න ආසාවත් ඇතිවෙලා. පස්සෙන් පහු එනගමන් මේකව කුදලගෙන යන්න හිතාන එදා වැඩට ගිහින්. 

හැබැයි ආපහු එනකොට නරි රංචුවක් කොටි හපුවගෙන් වාඩුව අරන්ලු. පස්සෙ ඉතින් උගෙ දත් ටිකකුයි නිය නිකකුයි අරන් ඇවිල්ලා. 

ඒ කොටි දත් ටික නම් තාමත් අපේ ගෙදර තියෙනවලු ඈ. මං පොඩි කාලෙනම් පුලුන් පුරොපු රාජාලියො, උකුස්සො, පොරෝ කෑදැත්තො, බකමූනො වගේ කුරුල්ලො ජාතිත් හිටිය. 

පස්සෙ අපේ අම්ම මැරිච්ච සත්තු මොකටද ගෙවල් ඇතුලට කියල කොටසක් භූමදානය කරල කොටසක් තාත්ත නැතිවෙලේ ආදාහනය කරල දාල.





(ගෙනාපු  මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමා යන්න අමතක කරන්න එපා...)

Friday, May 2, 2014

අති සුන්දර මහා වාලිම්ඹය 3

මහා වාලිම්ඹයේ ත්‍රිකෝණමිතික ස්ථානය පරීක්ෂා කරීම සඳහා මංගල ඔය දිගේ ගිය ගමනේ දී, කොටි හපුවෙකුගෙයි, ගෝනෙකුගෙයි ඔට්ටු සෙල්ලම බලපු හැටි පසුගිය ලිපියෙන් ඔයාල දැනගන්න ඇතිනේ.
            ඉතින්, ආයෙමත් අපේ  මිනින්දෝරු පාටිය මහා වාලිම්ඹේ තරණය කරපු හැටි කියන්නයි මේ හදන්නෙ.



ඕන්න ආයෙමත් කට්ටිය ගමන් ආරම්භ කරල අඩි දෙක තුනක් ඉස්සරහට යනකොට අපේ තුවක්කු රාළ එක් ගසක් ලඟ නැවතුනා. බයවෙන්න කාරිනෑ උන්දැ කොල අත්තක් කඩලා තවත් අතු දෙබලක ඒක එල්ලන ගමන්, කැලෑ සතාට අපෙන් ආරෝවක් නෑ උන්දැලගෙන් අපට ආරෝවකුත් නෑ, කැලෑ මහත්තැන්ටත්, උන්දැ පරිවාර පිරිසටත් මටත් අය්යනායක දෙව්තුමන්ගේ පිහිටයි ආරක්ෂාවයි! කියල දේව කන්නලව්වකුත් කලාලු. ඒක මේ ගමේ මිනිසුන්ගේ විශ්වාසයක්. ඉතින් ඔහොම ඉස්සරහට යනකොට අර කීව ලී ඉරන වාඩිය දකින්න ලැබුනලු. හැබැයි කවුරුවත් පේන්න ඉඳල නෑ. ලී ඉරන්න ආපු පිරිස වාඩිය අත ඇරල දාල ගිහින්. ඔන්න ඉතින් මිනින්දෝරු පාටියේ පිරිස දවාලට ගෙනාපු බත්මුල් ලිහාගෙන සප්පායම් වෙලා කාරිය නැවතත් ගමන පටන් ගත්තා.

            ඔන්න ඉතින් දුෂ්කර ගමනේ අතිදුෂ්කරම කොටසට දැන් කට්ටිය කිට්ටු කරලා. මෙතැනින් එහාට කඳු මුදුනට යන පාර අපේ තුවක්කු රාළත් දැනන් ඉඳල නෑ. දැන් හොඳටෝම රෑ බෝවේගනත් එනවා. මුදුනට යන්න ඕන හිතේ හෝදිසියෙන් අනුමාන කරන දිසාවට පාර කපාගෙනලු. බැලූ බැල්මට දැන් තියෙන්නෙ තනි හෙල උඩට නගින්න. ඒ මදිවට හැම තැනම දිය සීරාවල්, දිය සීරාවට වැඩුනු මීවන වර්ග, පෙඳ පාසි. දැන් පිරිසේ එක් එක් අය එක් එක් යෝජනා ගේනවලු. දන්නවනෙ ඉතින් කස්ටියක් එක්ක මේවගේ ගමනක් යනකොට විවධාකාර අදහස් උදහස් මතුවෙනවනේ. කෙනෙකු කියනවලු, ,මේ හෙල නගින්න නම් හොඳ හයිය කඹයක් ඕන. ඒක නිසා දැන් අපහු පල්ලම් බැහැල ගිහින් වෙන දවසක් හොඳට ලෑස්ති වෙලා එමු කියලා. මහ කැලේ මැදින් කරුවල වැටෙන වෙලාවේ ආපහු යන එක අවදානම් වැඩක්. එවගේම ආපසු ගියොත් නැවතත් මේ දුෂ්කර ගමනම ගෙවාගෙන එන්නට වෙන බවත්  තේරුම් ගත්ත අපේ නඩේ ගුරුතුමා තීරනය කලා පසුදා එලිය වැටෙනකම් කැලේම ඉඳලා උදෙන්ම හෙල තරනය කරන්න.



            තවත් ටික දුරක් හෙල වටේ සෝදිසි කරන කොට ගල්කුලක් දකින්න ලැබිල තියෙනවා. කට්ටිය එතන සුද්ද කරල ගිනිමැල ගහගෙන රැය පහන් කරන්න තීරණය කරල. රෑට ඉතින් ගෙනාපු වතුර විතරයි. ඔහොම ඉන්න කොට ඉතින් ටිකටික සීතල වෙන්නත් පටන් අරන්. සීතලට අපේ පිරිස ලඟ තිබිල තියෙන්නෙ බීඩි විතරයි. ගෙනාපු සිගරට් එහෙම ඉවර වුනාම ඔන්න නඩේ ගුරාත් බීඩියට බැස්සලු. මොකද ඉතින් එක දවසින් අහවර කරල එන්න ගිය ගමනක් නිසා වෙන මුකුත් බීම ජාති හෙම අරගෙන ගිහිනුත් නෑ. ඉතින් ඔහොම ගල් කුලට හේත්තුව දාගෙන ඉන්නකොට පහලින් ඇහෙනවලු අලි කෑ ගහනව. වන සතුන්ගේ සද්ද අහගෙන මුලු රෑම නිදිනැතිව පහන් කරන්න සිද්ද වුනාලු. අදටත් මහ වනමැද සතාසීපාව සමග රැය පහන් කරන්න ලැබෙන එක තරම් ආස්වාදජනක දෙයක් අපේ තාත්තට නෑ.

            ඔන්න ඉතින් පහුවෙනිදා උදෙන්ම වතුර බීල කට්ටිය දැන් සූදානම හෙල තරනය කරන්නයි. අල්ලන අල්ලන තැන ලිස්සල යනවාලු. ඉතාම දුෂ්කර මෙන්ම අති භයානක ගමන තමයි දැන් තියෙන්නෙ. ඉදිරියෙන් යන කෙනාගේ පය තියපු තැනට පහල කෙනා අත් තියල තද කරල අල්ල ගත්තම තමයි උඩින් ඉන්න කෙනාට ඊලඟ අඩිය ඉස්සරහට තියන්න පිලිවන් වෙන්නෙ. මේ විදියට මුදුන ආසන්නයටම අපේ පිරිස කොහොම හරි නැගගෙන. ඉතිරි ටික අඩි විස්සක් තිහක් පමණ තනි කලුගල. එක් එල්ලේ ඉහලට විහිදීලා තියෙනවාලු. මෙතැන් සිට යන්න තියෙන්නෙ කලුගලේම තියෙන සපත්තුවක් තරම් පලල කට්ටයක ගල බදාගෙන බොහොම සීරු මාරුවට. එක පයක් වරදුනොත් අඩි හත් අට සීයයක් පමණ පහලට පාවෙන්න පිලිවන්ලු. කොහොම හරි නඩේ පස් දෙනෙකුට ඔන්න මහා වාලිම්ඹේ මුදුන් හිනිපෙත්තට ලඟාවෙන්න වාසනාව ලැබිල.



            පහලින් සුද්ද කර ගෙනාපු වැල් පොටවල් උදව්වෙන් අවශය අනිත් අඩුම කුඩුම ඉහලට අරගෙන මිනුම් රාජකාරිය සිද්ද කරල, දැන් ලෑහැස්තිය අර ත්‍රිකෝණමිතික ස්ථානය කෙලින් ලී කණුවක් සවි කිරීමටයි. ඉතින් මේ ලීකණුව කෙලින් කරල වටේට ආධාරක කණුත් තියල බැඳල හෙම මිනින්දෝරු පාටිය දැන් ආපසු ගමන් අරඹලා. දැන් දහවල් තුන විතර ඇතිලු.දෙවේලක්ම නිරාහාරව ඉඳල දැන් මේ තුන්වෙන් වේල පසුවීගෙන යන වෙලාව. මේ වෙලාවේ අපේ පිරිසට දකින්න ලැබිල තියෙනවා කිතුලක්. අලි ඉන්න වනන්තරේ මෙතරම් සරුවට වැඩුනු තනි කිතුල් ගහක් දකින්න ලැබීමත් හරිම පුදුම දෙයක්. කිට්ටු කරල බලනකොට මේ කිතුල තිබිල තියෙන්නෙ ගල් දෙබොක්කාවක් පල්ලෙ. අලියට යන්න බැරි විදියටලු. ඔන්න ඉතින් පිරිස දවල් ආහාරය ලෙස කිතුල් බඩ කපාගෙන සප්පායම් වුනාලු.


            සවස් වෙන විට කට්ටිය කොහොම හරි කඳුපාමුලට ඇවිල්ල මංගල ඔයට වැටුනලු. දැන් මංගල ඔය දිගේ පල්ලම් බහින එක ලේසියිලු කැලෑවෙන් යනවට වඩා. ඔහොම ටික දුරක් එනකොට, මංගල ඔය ගලා බසිනවලු ලස්සනට වවාපු හේනක් මැදින්. හේනක්ය කීවට මේක ගන්ජා හේනක්. අනේ අපේ ඩයිමන් ගොයියගේ මහන්සිය කොහෙන් ගියාද නෑ කියල මනිහ උගුල්ලන්න තියා ගත්තෙ නැතෑ අර ලස්සනට වැවිච්චා. මේක දැකපු තව කීප දෙනෙකුත් වැඩේට හවුල් වුනාලු. හැබැයි ඕන් නඩේ ගුරුතුමා අවවාදයක් දීල තියෙනවා, මහ ඔයට නම් ඕව ජීප් එකේ දාගෙන යන්න ලෑස්තිවෙන්න එපා කියලා. මෙහෙම පල්ලම් බහින කට්ටියට තව ටිකක් යනකොට පොඩි කඩ පොඩ්ඩක් මුණගැහුනලු. ගිමන් නිවන්න කඩේට ගොඩ වෙලා අල්මාරියේ තිබුනු ඤානකතා ටිකට වගකියල ප්ලේන්ටියක් හෙම සප්පායම් උනාලු. මිනින්දෝරු පාටියේ පිරිසට තුන් වේලකට පසුව ලැබුනු දිව්‍ය බෝජනය තමා ඔය. එදින රාත්‍රී හත පමණ වනවිට පිරිස ජීප් රථය නවත්තපු තැනට ලඟාවෙලා තියෙනවා. අපේ තාත්තා මහා වාලිම්ඹය තරණය කරල තියෙන්නෙ ඔන්න ඔහොම තමා.


Friday, April 25, 2014

මහා වාලිම්ඹය 2 (අහඹු කොටි හමුවීම)

 ඕන්න එහෙනම් හැමෝටම ආයුබෝවන් කීවා. මීට පෙර ලිපියේ කියූ මහා වාලිම්ඹය ගැන තව තොරතුරු ටිකක් කියන්නයි මේ ලෑස්තිය.

          ඔයාල දන්නවද ඔය ලස්සන කඳු ගැටේට Friar’s Hood කියන්නෙ ඇයි කියල. ඔය සුදු මහත්වරු (සමහරවිට සුදු මහත් හොරු) ලංකාව තමන්ගෙ යටත් විජිතයක් කර ගත්තට පස්සෙ ලංකාව සිතියම් ගත කරන්න ගත්ත. එන්න ඒ කාරණය සඳහා ලංකාවේ උස් බිම් තෝරගන්න ඕනෑවෙලා තියෙනවා. ඉතින් අපේ නැගෙනහිර පලාතේ මහ ඔය පැත්තෙ යනකොට දැකල තියෙනවා මේ කඳුගැටය. ඒක උන්දැලට පෙනිල තියෙන්නෙ යඤ්ඤා කරන්නාගේ තොප්පිය වගේලු. ඉතින් ඔන්න ඔහොමයි මහා වාලිම්ඹයට “Friar’s Hood” කියන ඉංගිරිස් නම ආවේ.



            සුද්දා ඉතින් ලංකාව බ්‍රිතාන්‍ය කෙරේමට සිතියම් ගත කලාට මොකද ටික කලෙකින් මැට්‍රික් කෙරේමෙ ලෝකෙ පරසිද්ද වෙන්න පටන් ගත්තනේ. (ඒ කිවුවේ දම්වැල්, පුරුක් මිනුම් වෙනුවට මීටර්, සෙන්ටි මීටර් ආපු කාලෙ ) ඉතින් ක්‍රි.ව. 1800 ගණන් වල මේ සිතියම් ගත කිරීමට යොදා ගත් උස් කඳු මුදුන් එහෙමත් නැතිනම් මේ ත්‍රිකෝණමිතික ස්ථාන ක්‍රි.ව. 1965-1967 නැවතත් මැනල කිරල ගන්න උවමනා වෙලා. මේ කාරණයට දියතලාවෙන් මිනින්දෝරු වරු පුහුණු කරන්න UN (එක්සත් ජාතීන්ගේ සංවිධානෙන්) එකෙන් ආධාර එහෙමත් දුන්නලු. අපේ තාත්තා ඔන්න ඔය කියන රාජකාරිය කොරන්න මහා වාලිම්ඹයට ගිය හැටි තමයි දැන් කියන්නෙ යන්නෙ.

            මේ කියන තැනට යන්න නම් ලංකාවේ නැගෙනහිර පළාතේ තියෙන මහ ඔයට ගිහින් එතැන ඉඳන් අති දුෂ්කර ගමනක් ගෙවල මංගල ඔය හොයාගෙන යන්න ඕනෑ. මංගල ඔය ලඟ ඉඳන් ඉතින් පයින් තමයි. මේ කියන ගමනට ගෝල බාලයෝ හතර පස් දෙනෙකුයි, තුවක්කු කරුවෙකුයි සහභාගී වුනාලු. කෂ්ටිය ඔන්න දවල් බත්මුල්, වතුර කෑන් හෙම ජීප් රථයෙන් බාල අනෙක් අඩුම කුඩුමයි කදවල් බැඳගෙන මංගල ඔය දිගේ ගමන පිටත් වෙලා.

            ඔන්න ඉතින් ටික දුරක් යන කොට වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ගේ කූඩාරමක් හම්බවුනාලු. එයාල මංගල ඔයේ වතුර බහින වේගය, ධාරිතාව වගේ දේවල් සමීක්ෂණය කරන්න ආපු කට්ටියක්. එතැන ටිකක් ගිමන් නිවල ආයෙත් පිටත් වෙන්න හදන කොට, එතැන හිටපු මහත්තයෙක් කීවලු උඩහ කැලේ වාඩි බැඳල ලී ඉරන කට්ටියක් ඉන්නව දවල් කෑම ගන්න එතෙන්නට යන්න කියල. කවුරුත් දන්නෙ නැති මේ මහ කැලේ මිනිස්සු ඉන්න ඉසවුවක් හරහා යන එක කෝකටත් හොඳයි කියල අපේ පිරිස ආයෙමත් ගමන් ආරම්භ කරල. ඔය කියන ලී ඉරන වාඩිය හොයාගෙන ඔහොම යනකොට එක පාරටම මහ සද්දෙන් කැලේ බිඳෙන හඬක් ඇහෙන්න පටන් අරගෙන. මේක මේ  ලී ඉරන අයගෙ වැඩක් වෙන්නැ කියල ඉස්සරහට යන්න හදනකොට, එක පාරටම අපේ තුවක්කු රාළ ඉදිරියට පැනල ගමන හරස් කොරාලු. ඒ මදිවට කස්ටියටම උන්නු තැනින් හෙලවෙන්න එපා කියල සංඥාවකුත් දුන්නලු. කැලේ කොලේ ගැන දන්නෙ කැලේ කරග්ගහන අය නිසා අපේ අයත් මේ වෙලාවෙ ටැග්ගැහිල ඉඳල. වැඩි වෙලාවක් මෙහෙම ඉන්න ලැබිල නෑ, ඔන්න එක පාරටම මහ කැලේ බිඳගෙන අං කොට ගෝන තඩියෙක් පිරිස ඉස්සරහින් මහ සද්දෙන් දිවුවෙ නැතෑ.

අහ්! මට වේලපහ කියන්න අමතක වුනා නෙව. ඔය අපේ පිරිසට, ඉවුම් පිහුම් හෙම දන්න කියන පිරිමි කෙනෙකුත් අනිවාර්යයි. මේ වැඩේට අපේ තාත්ත තෝරං තියෙන්නෙ අපේ ගමේම හිටපු ඩයිමන් ගොයිය. මේ මනුස්සය තාත්තල පොඩි කාලෙ ඉඳල අපේ සීයලෑ ගෙවල් දොරවල් ආස්සරේ කොරාපු උයාපු පිහාපු මනුස්සයා වෙච්චි, තමන්ට කෑම බීම හදන්න ඊට වඩා විස්වාසියෙක් කොයින්දැ. කෑම බීම රසට හදනව වගේම, බෙහෙත් කොටාපු තුවක්කු බටෙත් අරං කෑම හොයාන එන්න ඕනැ කැලේකට එඩිය තියෙන මිනහ. එවගේම ඩයිමන් සීය තමා අපේ අප්පොච්චාගේ බොඩිගාඩ් වැඩෙත් කරල තියෙන්නෙ. ඩයිමන් සීය ගැන පස්සෙ ලිපි වලින් තව රස කතා කියන්න බැරුවයැ.

            ඔන්න ඉතින් ගෝන දිවුව සැනින්, ඩයිමන් සීය ඉස්සර වෙන්න හදන කොට, අපේ තුවක්කු රාළ වැලමිටෙන් ඇන්නෙ නැතෑ උන්දැගෙ බඩට. ඩයිමන් සීය හුස්ම අල්ල ගන්න බැරිව බඩ අල්ලන් පහත් වුනාලු. උන්දැත් කුකුල් කේන්ති කාරය වෙච්චි, රිටර්න් එක දෙන්න නැගිටින්න හදන කොටම අර ගෝන දිවුව දිසාවට තඩි කොටි හපුවෙකුත් හැල්මේ දීවාලු. අපේ ඩයිමන් ගොයිය හුස්ම අල්ලන් නැගිටින කොට අනෙක් අයගෙ හුස්ම නැවතිලා. ආයෙ මොන රිටර්න් ද, පරාණෙ බේරුව මදැයි කියල ඩයිමන් සීය ඉවසල ඉඳල.



            සාමාන්‍යයෙන් ගෝනෙක් දුවන විදියට හිතාගන්න පුල්වන්ලු ඌ දුවන්නෙ ඇයි කියල. විශේෂයෙන් අං නැති ගෝනෙක්. අං තියෙන ගෝනට අරියාදුවට කොටි හපුවන් කිට්ටුවෙන්න බයයිලු නෙව. කැලේ කොලේ සතා සීපාව ගැන උපාධියක් ගන්න තරම් දේවල් අපේ තුවක්කු රාළ දැනං ඉඳල තියෙනව. අපේ පිරිස නිසා කොටි රාළගේ ගමන හරස් උනානම් සමහර විට ඌ හැරිල යන්නත් ඉඩ තිබුනලු. නමුත් කොටිය කියන සතා විස්වාසෙ මදිය කියලයි කියන්නෙ. ඒක කෙසේ වෙතත් මූ ගොදුර මග ඇරුනේ මිනිස්සු නිසා පස්සෙන් පහු දවසක පහල ගම්මානෙන් නර බිල්ලක් ගන්න නොකියාම එනවලු. (සීපා කොටි ගුණම නෙවැ දෙපා කොටින්ටත් තිබිල තියෙන්නෙ.) කොටි හපුවන් මුණගැහුන තවත් සත්‍ය කතා දෙක තුනක් තියෙනවා. ඉදිරි ලිපිවලින් බලමුකෝ. තව මහා වාලිම්ඹයේ පාමුලට වත් ආවෙ නෑ නොවැ. මේ කඳුගැටේ මුදුනට ලඟාවුන සැටි ඊලඟ ලිපියෙන් කියන්නම් යාලුවනේ.

Friday, April 18, 2014

මහා වාලිම්ඹය නොහොත් Friar’s Hood

මහා වාලිම්ඹය (නොහොත් Friar’s Hood) පිළිබදව ඹබ දන්නවාද?   මාගේ මීලඟ ලිපිය මේ ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමටයි.




             දැනට අවුරුදු තිහ හතලිහකට උඩදී  ලංකාවේ මිනින්දෝරු වරයෙක් කියන්නෙ ඉතින් නඩුකාර උන්නාන්සේ කෙනෙකු වගේ තමයි. එහෙම ලේසියෙන් කෙනෙකුට මිනින්දෝරු විභාගෙ පාස් කරන්නත් බැරිලු. ඒ වගේම හරිම ආස්වාද ජනක හා විනෝද ජනක රැකියාවක් තමයි. (ඒකට ඉතින් ආසාව තියෙන්නත් ඕනෑ.) ඒ කාලෙ ඉතින් ගෝල බාල පිරිසයි, තුවක්කු කරුයි එක්ක මිනිස් පුලුටක්වත් පය ගහපු නැති මහ වනාන්තර මැද්දෙ මැනුම් කටයුතු සහ සංතලන කටයුතු (Leveling) කරන එක තමයි ප්‍රධාන භාරදූර්‍ය රාජකාරිය වෙලා තිබිල තියෙන්නෙ. ඒකනේ වැදි ජනතාව මිනින්දෝරු වරුන්ට කැලෑ පොජ්ජ පටහරින හූරා කියල කියන්නෙ. මහ වනාන්තර මැද ඒ අය ලබපු විඳපු අත්දැකීම් අද නම් අපට මුදල් ගෙවා වත් ලබන්නට බැරි බව ඔයාල හැමෝම දන්නව නොවැ.



            ඉතින් ඹය මහා වාලිම්ඹය කියන්නේ එවගේ අතිදුෂ්කර ගමනක් ගෙවල යායුතු  බොහොම ලස්සන කදුගැටයක්. මෙම කදුගැටයේ තිබෙන එක් ප්‍රධාන වැදගත් දෙයක් තමයි, ලංකාවේ ප්‍රධාන ත්‍රිකෝණමිතික ස්තානයක් හෙවත් Trig Point එකක් මේ මත පිහිටුවා තිබීම. මේ Trig Point කියන්නෙ ලංකාව සිතියම් ගත කිරීමේ දී පිහිටුවනු ලැබූ ප්‍රධාන සලකුණක්. මංතුමාගේ පිය උතුමා මේ Trig Point එක ලබා ගන්න ගිය සැටි පසු ලිපියකින් බලාපොරොත්තු වන්නකෝ.