Showing posts with label මගේ සිතැඟි. Show all posts
Showing posts with label මගේ සිතැඟි. Show all posts

Monday, April 4, 2022

මගේ පැටවු හට මේ මවුබිම ඕනේ....

 


රටේම මහ කලබලයක්
ගෑස් විදුලි අර්බුදයක්
තෙල් සිමෙන්ති ඇත හිඟයක්
නැවතත් පෝලිම් යුගයක්

හාල් සීනි තුන් ගුණයක්
පරිප්පු නෑ ගේ ඇටයක්
අල ලූනුත් කෑ දවසක්
අහන්න නෑ මයිනෙක් වත්

ජහ මනයගෙ බඩ වියතක්
පුරව ගන්න නෑ විදියක්
පෝලිම් වල මැරි වැටුනත්
නෑ ලොක්කට වගේ වගක්

ඩොලර් හිඟලු ණයත් වැඩිලු
ගෙවා ගන්න කලුත් මදිලු
මම නම් ණය ගත්තෙ නැතිලු
ගත්තු ඒකෙක් දන්නෙ නැතිලු

පෝර නැවලු සුදුසු නැතිලු චීනෙ ඉඳන් ගෙනාවාලු
නැවත බලමු සුදුසු නැතිලු ආයෙ පිරික්සා බලමුළු
බලල බලල ගොඩ බෑවලු කාබනිකලු සුපිරි බඩුලු
දාපු කුඹුරු පුසුඹෙ බැරිලු බල්ලො බළල්ලුත් කෑවලු

තවත් නැවක් මග ආවලු
ආපිට හරවා යැව්වලු
බාපු දෙයක් ඇත්තෙ නැතිලු
ඩොලර් ගෝනියක් ගෙව්වලු

ජෙට් ඒකක්ලු පුද්ගලිකලු
උගන්ඩාවෙ සිට ආවලු
මයි ජෙට් මයි ‌ඩොලර් යාලු
කියලා.. පවුලම ගියාලු

දවසින් දවස අමාරුකම් වැඩිවෙනවා
දුගී මගී සැමදෙන හාමත් වෙනවා
මහ පුටු තවමත් පිස්සුම කෙලවනවා
හැටනම ලක්සේ කාටත් සිහිවෙනවා

තවත් බැරිය ඉවසාගෙන හිඳින්නට
ඒකා දෙන්නා මිරිහානට රැස්වෙන්ට
ගමම ආවෙ මේ ගැන පිළිසඳරකට
සර් ඕක ළමයෙකු හට දී යන්ට

මිරිහානෙදි බස් රථයක් ගිනි ගත්තා
ගිනි තියනා හැටි මාධ්‍ය වල තිබ්බා‍
කිහිපදෙනෙක් බිල්ලට අල්ලා ගත්තා
නීතිවේදියොත් ගේමට එලි බැස්සා
 

පනස් හතරදෙන නිදහස් වී එන්නා
නීතිය බෑලූ හැමදෙන රෙස්පෙක්ට් වෙන්නා
පෝය නැතත් ලොක්කට තද වී එන්නා
පසුදා ඇඳිරි නීතිය රටටම දැම්මා

චිත්‍රා කුමරි තැබුවත් උස එක් ටැම්ගේ
මතකද ඇය ගැබ්ගත්තා ඉතිහාසේ
ඒහෙව් යක්කු ඉන්නා රට මේ අයිසේ
කී දවසක් වහගෙන ඉන්නද නන්දේ

රටපුරාම උද්ගෝෂණ රැලි මාලා
සියලු දෙනා එක කැටියට එක් වීලා
පාලක හොරු රැල බලයෙන් පන්නාලා
මිස අයෙත් බලන්නෙ නෑ අපි හැරිලා

අවුරුදු තුනකට කලියෙන් දවසක්දා
ලේ වැගිරුණු මිනී මතින් කළු ඉරිදා
හැටනම ලක්සයක් ගෙන ආ මේ නිරිඳා
උන්ගේ මූණෙත් කළු දැළි ඉරි ඇන්ඳා

මහජනයගේ විරෝදෙ පාවලා දෙන්න
රෑට අස්වෙලා උදේට පත්වෙන්න
අමු කැවිලද අන්ද කයිප්පුද මෙන්න
ලෝක සිතියමෙනුත් මකන්නද ඕන

හොරා කාපු සතයක් සතයක් ගානේ
ආපහු මුන්ගෙන් අය වෙන්නට ඕනේ
හැත්තෑ හතරක් රැවටුන දැන් ඇතිනේ
මගේ පැටවු හට මේ මවුබිම ඕනේ....

Friday, March 20, 2020

දමා ගිය අය අහසෙ කොතැනේ අප දිහා නෙත් යොමා ඇත්තේ...


කෙනෙකුගේ අගයක් දැනෙන්නේ
තනිකමක් පාලුවක් දැනුනේ
හිටියනම් ලඟ කියා තැවුනේ
වියෝවෙන් පසුවයි ඔවුන්ගේ

ඒ තමයි අප සැමගේ හැටිනේ
නමුත් අපි හිත හදා ගන්නේ
දමා ගිය අය අහසෙ කොතැනේ
අප දිහා නෙත් යොමා ඇත්තේ

අන්ධවීලා සසර ගමනේ
අතරමං වී අප හිඳින්නේ
කොරෝනා ඇවිදින් ලොවට මේ
අපව එකතැන් කරල ඇත්තේ

දුවන දිවුමට වෙනද පිම්මේ
කතා කෙරුවත් කලබලයිනේ
නැවතුනත් අප දුවන හැල්මේ
දෙකොනකයි අප නතර කෙරුනේ

මේ තමයි අප ගෙනා උරුමේ
නැති උනත් ඔබ දමා ආවේ
අහසෙ ඉඳගෙන බලා ඉන්නේ
මගේ දරු පවුලම ගැනයිනේ

Friday, March 13, 2020

කොරෝනා ඇවිදින් මතු කල මිනිස්කම


හැරගියේ නැත කිසිදා අපි මවු රට
ගියේ කරන්නට දෙයකුත් නැති විට
ගමට රටට බරක් වී බැ ඉන්නට
ගතින් නැතත් හදින් සැමදා මවු රට

අපි කලේ නෑ බොරු උද්ගෝෂණ
අකුල් හෙලා නෑ රට පෙර ගමනට
පැතුවේ අනාගත දැයේ අභිවෘද්ධිය
ආවේ තියාලයි ජීවිත උගසට

පිටරටවල කොල උපයල එවුවම
විනිමය වෙනවලු අද එය රටටම
ඒකෙන් හොඳහැටි ආතල් අරගෙන
අපිටම ඇනපං කොරවෙලා යන්නට

හරකෙක් වස්සෙක් කෙරුවම මරි වැඩ
රට විරු සැමටම ගැරහුම නරි වැඩ
ආතල් දුන්නම පොදුවේ ඕසෙට
උඹලගෙ ඉන රෙද්දක්වත් තියෙවිද

රජයෙන් ගිය විට හදන්න නිරෝධන
මධ්‍යස්තානයක් වත්තල හැඳල
උඹල එකතුවෙල දුන්නු සපෝට් එක
බැලුවේ තුටු කඳුලින් ඒ දෙස අප

අවදානම මැද රට ගැන හිත හිත
බහුතරයක් බං තවමත් නොරට වැඩ
හැකිකම තියෙද්දිත් අපිටත් එන්නට
හිතනව තාමත් අපි ගම රට ගැන

කට්ට කාපු අපට ඕව කජු මදද
හිතේ හයිය නිසයි ආවෙ දන්නවද
කොරෝනා ගිල්ලත් ඇවිදින් අපව අද
එන්නෑ උඹලට දෙන්නට තවත් වද 

Friday, June 7, 2019

හෙළයන් ඉවසා වදාරනවලූ සංහිඳියාවට කෙළවෙයි කියලා



සකල සිරින් පිරි සිරි ලංකාවේ ජාතිය ආගම කුල බේදේ
වෙනදාටත් වැඩියෙන් දැන් රැව්දෙයි ඔද වැඩිලා ඇත අභිමානේ....
පාස්කු ඉරිදා ම්ලේඡ්ච ලෙස ඒ ත්‍රස්තවාදී පිරිසකගේ
පුපුරා ගැනීම තවමත් ඇත වී ප්‍රතම පුවත නාලිකා ගානේ....


තවත් බලාගෙන ඉන්නට හිත නෑ සද්ද නැතුව මෙතුවක් වාගේ

අසීරුවෙන් මම අකුරු කලා  මේ කවි පද වාවා ගෙන වේගේ...


ඉස්ලාම් අන්තවාදී කල්ලි රට තුල බෝ වෙනවා දැන් බෝසේ

කීවත් කනකට ගත්ත එකෙක් නෑ පෙර සිට මේ දිය වන්නාවේ
අතීතයට දෙස් දෙවොල් තියාගෙන කෑ මොර දී පලකුත් නෑනේ
වරුතමානයේ ඉන්නා පඹ රැල කොරනා දේකුත් නෑ වාගේ


උනුත් දන්නෙ නෑ මුනුත් දන්නෙ නෑ බැලුවම අහලා සිදුවුන දේ

උන්ටත් කියලා මුන්ටත් කියලා ලියුනුත් යවලලු නිලයන්ගේ
එසේ තිබෙද්දිත් සේරම ගව රැළ අදටත් මේ දිය වන්නාවේ
උන්ගෙන් මුන්ටත් මුන්ගෙන් උන්ටත් පාස් කරවා ඇට බෝලේ...


බෝම්බ හැදුවලු ෆැක්ටරි තිබුනලු ඒවට යහමින් තඹ යවලා

ලගම ඥාති කෙනෙකු ගේ නිවසකුත් ත්‍රස්තයිනට  කුලියට දීලා
අල්ලාගත් සැකකරුවන් පිළිබඳ හමුදාවට බලපෑමුත් කරලා
ඔප්පු කරන්නලු චෝදනා ඇත්නම් ඇමති පුටුවලම ටැක්ගැහිලා...


හමුදාවෙන් ගොස් බැලුවම මුස්ලිම් පල්ලිය ගැන සෝදිසි කරලා

දෙවියන් යදිනා සමහර පල්ලි මුවහත් කඩු වලිනුත් පිරිලා
යුද්දෙට ඕනා මන්නා කඩු පිහි මොකටද පල්ලියෙ ගොඩ ගහලා
එකෙක් කියනවා කැලේ කපන්නලු අළුත් ආරෙක හැඩදාලා


සෝදිසි මෙහෙයුම් වලදි ගෙවල්වල තිබුනලු තව කඩු ගොඩ ගහලා

උන්ගේ ගෑනුන් පරිස්සං කොරන්න කඩු ඕනලු මුවහත් කොරලා
මෙව්වා අහගෙන ඉවසන් ඉන්නට සිහලුන් හට ඇත සිදුවීලා
නායකයන් ඇත පඹයන් විලසින් බල තන්හාවෙන් කෙල හලලා


තවත් එවුන් ඇත අන්තවාදීන් පෙර සිට රැක පෝෂණ කරලා

උන්ගේ කෙරුවාවල් එලිවෙනවා එකින් එක අද පෙලගැහිලා
චෝදනා ඇතිවුන් ඉල්ලා අස්වෙල තම තනතුරු දරමින් ඉන්නා
කියලා ඉල්ලන්නට කොන්දක් නෑ රටේ නායක දරු දෙන්නා


සිංහල අම්මාවරු බර ගණනක් මේ වන විට ඇත වඳ කරලා

කියලා පුවතක් පලවිය මුලු රට මර නින්දෙන් පුබුදුවා ලලා
ඒ සැකකරු දොස්තර කුරුණෑගලදී අත් අඩංගුවට පත් වීලා
නිදහස් කෙරුමට ප්‍රසිද්ධියේම ඇත චූදිත නිලයන් බල කරලා


රටේම කැලඹීමක් ඇති කරමින් රතන සාදු උපවාසෙට උන්නා

ගලේ පහරපු බලලට වැඩියෙන් නායකයන් අසරණ වෙන්නා
අන්තිමේදි මේ චූදිතයන් ගේ සහයට සේරම නව දෙන්නා
ඉල්ලා අස් විය උන්ගේ ජාතිය උන්ට කොයි වෙලෙත් එක වෙන්නා


රටේම මහ වියසනයක් කරමින් පුපුරා ගිය ඒ කළු ඉරිදා

වගකියනා උදවිය ඇත අද අඳ ගොළු බිහිරන් ලෙස රඟලා
චූදිතයින් වූවත් උන් අපේම ජාතියෙ උන් ලෙස සිත් දරලා
සිටියත් අපේ එවුන් නෑ තවමත් එකමුතු වෙන්නට අත් බැඳලා


තවමත් රට කරනා වුන් එක එක මත වල ඉන්නව ටැක් ගැහිලා

පිළියම් යොදන්න උත්සුක වෙන බව පෙනෙන්ට නෑ තව වල්වැදිලා
එකම නීතියක් සැමට සහනයක් ඇති හෙල බොදු රට ගැන හිතලා
හෙළයන් ඉවසා වදාරනවලූ සංහිඳියාවට කෙළවෙයි කියලා




ප.ලි.

          සිංහ කොඩියවත් දන්න බෑ නොවැ මේකෙ, මාධ්‍ය මගින් කඩු පෙන්නීම තහනම් නිසා.

Monday, April 23, 2018

අපි අවුරුදු කෑව නමුත් අවුරුදු අපිවත් කෑවලු




කොහා හඬන රබන් ගහන අවුරුද්දත් ඇවිත් ගියා
නෑ හිත මිතුරොත් ඇවිදින් බීල කාල විසිර ගියා
ගෙවල් මිදුල් අස්කරලම කොන්දේ ඇට ඇදවි ගියා
වේලසනින් අදවත් නෑ මේ මිනිහා කොහේ ගියා

ඔහේ ගෙ අයියට අක්කට ඉස්තරමින් තෑගි ඇරං
අවුරුද්දේ කෑම මේසේ කඩවල් වල ජාති පුරොං
ඒ මදිවට දොර ජනේල රෙදි අලුතින් හැඩට ඇරං
ණය කාරයෝ මග රැකලා මා එනතුරු ගෙදර බලං

මගෙ නෑයන් හට විතරද අලුතින් අපි රෙදි ගත්තේ
ඔහේගෙ රට ගිය මල්ලී මොනවාද මෙහි ගෙන ආවේ
කෑම මේසේ ජාති වලට කටින් ද ඔය කුල කීවේ
ලෝක බැංකුවෙන්ද ඕයි සැර බීමට ණය දුන්නේ

කෑමක් දෙනවා නම් අද කෑමට පෙර හොඳ සිරිතකි
ඔහෙගෙ අයිය මට ගෙනාපු කමිසෙ පොඩි එකාටත් මදි
ණය ගෙවන්න සත්මසක්ම ඕටී කෙරුවත් තව මදි
මහන්සි වී ගෙදර ඇවිත් නිදහසේ ඉන්නට බැරි හැටි

අපේ මහත්තයෝ තේක බීල ඉන්න හා පුවාලු
ලබන මාසේ සිරි මාමගෙ යසිරු මල්ලී බඳිනවාලු
රට ගිය මල්ලිගෙ නෝනත් එදාට එහි වඩිනවාලු
අලුත් සාරියක් මට නැත්තං ඔයාට ලැජ්ජ වේලු

ගහෙන් වැටුනු මිනිහාටත් ගොනා ඇන්න කියනවාලු
අතමාරුවක් ගන්නට මිතුරෙකු මං හොයනවාලු
හෙට හවහට පොට් එකේදි අපි කෝමත් සෙට් වෙනවලු
අපි අවුරුදු කෑව නමුත් අවුරුදු අපිවත් කෑවලු....




Thursday, February 4, 2016

රුවන් නිදන හෙල බිමයි



නිදහස අපේ සමරණ මේ  අද දවස
ආඩම්බරයි සිරිලක පුරවැසි අපට
ජාතික ධජය ලෙලමින් හුල‍ඟේ දසත
සමරනවාලු ජයටම නිදහස් පුවත

අප ලබනා නිදහස් දින නිවාඩුව
පිට්ටනියේ පෙළපාලියෙ දිගාකර
සිටියත් කෑමොර දීගනෙ උදේසිට
වැඩ කරනා පිරිසක් ඇත නොරට ඉඳ

නිදහස ලැබුව සිරි ලංකා දීපයට
හැට අට වසරක් ගෙවුමුත් එදා සිට
පිල් බෙදිලා ගුටි ඇන ගත්තා මිසක
නිවහල් සිත් ගොඩනැගුවේ කවුරුන්ද

ජාතික ධජය ගැන ඇත ගැටලුවක් පැන
ඉතිහාසයේ වරදක් වත් සිදුවීද
ඒ වෙනුවෙන් පිරිසක් ඉදිරියට පැන
තවත් කල්ලියක් මෙහි සැදුවා වත්ද

නිදහස ලැබූ සිරිලක් මිණි මහ පොලවේ
උරුමක්කාර කම් තවමත් පටලැවිලේ
එක ධජයක් එකම රටක් ප්‍රතිරාවේ
කරුම්මක්කාර කම් නම් තව තව බිහිවේ...

Friday, September 4, 2015

GCC බැචලර්

          මගේ පළමු සාර්ථක කෑම වට්ටෝරුව උයන්න ආස අයට මෙසේ පිළිගන්වමි. උයන්න දන්නෙ නැති අයටද මා මෙන් කිසිත් බියක් සැකක් රහිතව මෙය අත්හදා බැලිය හැකියි.


පහට එලාම් එක සෙට් කරලා
හීනත් දෙක තුනකුත් බලලා
ඇහැරෙන විට පහමාරවෙලා

හා …..  ඈනුමක්  හෙම යවලා...

කොට කලිසමකට මාරු වෙලා
සරමත් ඔලුවෙන් ගලවාලා
තව බඩ පිනුමක් හෙම  ගහලා
කිචන් එකට ගොස් දොර ඇරලා

ආ නෑ නෑ ටොයිලට් එකට ගිහින් කිචන් එකට යන්නෙ

ජෝගුව  වතුරෙන් පුරවාලා
කරන්ට් එකට ප්ලග් එක ගහලා

දැන් හොයපල්ලකො මග් එක...

නීඩෝ පිටි ටිකකුත් දාලා
සීනිත් තේ හැන්දක් දාලා
මදි නම් තව හැන්දක් දාලා
තේ කොල ටිකකුත් කලතාලා

නෑ නෑ එහෙම කරන්නෙ කේරලේ අය.
මම දානව ටී බෑග් එකක්. තේ වතුර වෙනම හදන්නයි පෙර පෙර ඉන්නයි ඕන්නෑ නෙ එතකොට.


දැන් පටන් ගමු උයන්න ඈ....

හාල් ටිකක් කෝප්පෙන් මැනලා
භාජනයක් ගෙන සෝදාලා

ඇයි කුකර් එකේ භාජනේ තියෙන්නේ
හ්ම් එහෙනම් ඒක ගමු

ආයෙත් පාරක් හෝදාලා
නැවතත් වතුරෙන් හෝදාලා
ආයෙත් වතුරෙන් හෝදාලා

නෑ නෑ තුන්පාරයි හෝදන්නෙ
ඊට පස්සෙ රයිස් කුකර් එකට තියල කුක් කරනවා.


තව භාජනයක් රාක්කයෙන්
අරගෙන සෝදා ඇල්වතුරෙන්
පරිප්පු දානව තේ හැන්දෙන්

නෑ.. මේස හැන්දෙන්... දාන්නෙ...

පරිප්පු ටික දෙපාරක් හොඳින් හෝදලා බේරල ගන්න ඕන.

පරිප්පු ටික අයිනට කරලා
අන්ක් පැත්ත පහලට කරලා
තෙල් ටිකකුත් යහමින් දාලා
කෑලි මිරිස් සහ සුදුලූණුත්
කරපිචත් හෝදල දාලා

අර පරිප්පු භාජනේම පහලට කරපු පැත්තෙන් තෙම්පරාදු කරගන්නවා.

කලුවෙන්නට පෙර මිරිස් ටික
දමන්ට ඕනෑ වතුර ටික

චූස් බූස් සද්දෙත් දාලා
කරි පවුඩර් ටිකකුත් දාලා
කහ ඩිංගක් හෙම හැඳිගාලා
භාජනයත් ලිප උඩ තියලා



දැන් තේක බොන්නෙ නැද්ද? ආ... ඒක ඔය අතරින් පතර බොනවලු.

රට ළූනුත් සුදු ළූනුත් හා
සුද්ද කරල කපලා තියලා
බොංචි කැරට් ටිකකුත් සෝදා
තේ ජුන්ඩක් බී හති නිවලා

පොල් කිරි ගන්නව කෝප්පෙට
දියකර ගන්නව මිටි කිරට
අහවර කරලා ඉන්නකොට

පරිප්පු එකේ වතුරත් හිඳිලලු

කිරි ටික හනිකට වක්කරලා
පරිප්පු හොඳ හැටි හැඳිගාලා

තව තේ ටිකක් බොමුනේ….


තව භාජනයක් ගෙනැවිල්ලා
සෝදල තෙල් ඩිංගක් දාලා
කපා ගත්තු ළූනුත් දාලා
හැඳිගාමින් ටෙම්පර් කරලා

ආ.. කෑලි මිරිස් ටිකකුයි කරපිංචා කොල දෙකකුයිත් දාගන්න ඕන ඈ....

බොංචි කැරට් කපලා ගත්තු
ඒ භාජනයට දමාගමු
වතුරත් පොඩ්ඩක් දමාගමු

එතකොට කරි පවුඩර්…..

අවශ්‍ය කියලා හිතෙනවනම් 
කරි පවුඩර් ටිකක් දාන්නත් පුලුවන්
ටිකක් ඉමුකො වහලා පියනෙන්

ටිකක් තැම්බෙන්න අරිමු නේද..

අනිත් ලිපේ ඇති පරිප්පුව
බාලා ලුණු ටික දානවද
කෝප්පෙ තව තේ තියෙනවද


තියෙනවනම් ඒකත් බීලා
මග් එක සෝදල නවා තියා


බෝංචි එකටත් ලුණු දාලා
ඒකෙ ලිපත් නිවලා දාලා
බිත්තරයක් බුල්සයි දාලා
උයා ගත්තු ටික පැක්කරලා
භාජන සෝදල අස් කරලා








දැන්නම් හොඳටම දාඩියයි. ගෙහුන් නාගන්න ඕන.

වෙලාව හතවෙද්දී ඔන්න
සේරම වැඩ ඉවරයි මෙන්න




ප.ලි.
වෑන් එක එන්නෙ අටට. ඉතින් හිතුනොත් තව පැය භාගයක් නිදාගන්නව.
GCC කියන්නෙ Gulf-Cooperation-Council (political and economic alliance of six Middle Eastern countries). මීට වඩා හොඳ අත්හදා බලපු රෙසිපි GCC වල තිබෙන්නට පිලිවන. මේ මාගේ අත්හදා බැලීමකි. උයපු මේ කෑම ටිකට, කෑම සෑදීමේ කලාවේ උපන් හපන් අපේ පොඩි අක්කාගෙන් සහ තවත් කීප දෙනෙකුගේ තත්ව සහතිකයක් ලැබී තිබේ.

වෙනත් මේවැනි කෑම වට්ටෝරු තිබේ නම් සහ මේ වට්ටෝරුව මොඩිෆයි කරීමට කැමති ඔබට මාගේ සුහද ඇරයුමයි මේ.