Showing posts with label ස්වභාව සෙෘන්දර්යය. Show all posts
Showing posts with label ස්වභාව සෙෘන්දර්යය. Show all posts

Friday, August 28, 2015

වැරදුණු කුරුමානම

අද මං කියන්න යන්නේත් 1960 ගණන් වල සිද්ධ වුනු සිදුවීමක්. මේකත් ඉතින් අපේ පියතුමාගේ රසවත් අත්දැකීමක් තමා.

ඔයාල දන්නවනේ තණමල්විල. ඔව් ඒකාලෙ ඉඳලම මල් වලට තමා ප්‍රසිද්ධ. එත් මේ තණමල්විල මල් ගැන නම් නෙමේ. එහේ තිබිල තියෙනවා තල්ගහ දිගන වැව කියල වැවක්. ඒක තියෙන්නෙ තණමල්විල ටවුන් එකේ (ටවුන් කීවට ඉතින් ඒකාලෙ පොඩි කඩමණ්ඩියක් තමා)  ඉදන් හැතැක්ම 7,8 ක් දුරින්. හැතැක්ම දෙකක් විතර වාහනයකින් ගිහින් කිරිඳි ඔයෙන් එගොඩවෙලා ඉතිරි දුර පයින්ම තමා යන්න ඕන.

මෑත කාලයේ තණමල්විල කඩමණ්ඩිය.

අපේ මිනින්දෝරු පාටිය කිරිඳි ඔය තරණය කරල, ඒ කිට්ටුවම කෑම්ප් එකත් සවි කළාලු. ඒ දවස්වල එහෙම තමා. ඔයක් දිය පාරක් ලඟ තමා කූඩාරම් ගහන්නෙ. කොයි දේටත් පහසුයි නේ. ඔය කිරිඳි ඔය හිටපු ගමන් වතුර වැඩිවෙලා දෙගොඩතලා යනවලු. එහෙම වුණාම ඉතින් ගමනා ගමනය අති දුෂ්කරයි. ඉතින් අපේ පිරිස ගඟේ එගොඩ මෙගොඩ යා කරල හොඳ හයිය කඹයක් ඉවුරු දෙකේ ගස් දෙකක ගැට ගහනවලු.  අමුත්තෙක් එහෙම කෑම්ප් එකට එනවනම් ඇඳි පුටුවකට හයිය ලී දෙකක් ගැටගහල පොඩි දෝලාවක් වගේ එකක් හදාගෙන මිනිස්සු හතර දෙනෙක් දාල ඒකෙන් තමා එගොඩ කරන්නෙ. වතුර වැඩි වුනාම කඹය අල්ලන් තමා එගොඩ මෙගොඩ යන්නෙ. වතුර පාර සැර වැඩි වුණාම කඹේ එල්ලිලා හරහට තමා යන්නෙ. කකුල් ඔය පතුලෙ වදින්නෙ නෑ.

කිරිඳි ඔය

මිනින්දෝරු කූඩාරමක් සහ එහි නිදන කුටිය

ඔන්න ඉතින් කට්ටිය පහුවදා උදෙන්ම වැව මනින්න යන්න අඩුම කුඩුමත් ලෑස්ති කොරාන කෑම්ප් එකෙන් පිටත් වුණාලු. ඔය අපේ පාටියට තුවක්කු රාළ කෙනෙකුත් ඉන්නව නෙව. එයා තමා පාර පෙන්නන්නත් එක්කල ඉස්සර වෙන්නෙ. මේ කැලෑවෙ ඒ දවස්වල අඩිපාරවල් විතරයි තිබිල තියෙන්නෙ. වන සතෙක් මිසක් අතර මගදි මිනිස් පුලුටක් හමුවන්නෙ බොහොම කලාතුරකින්. මග දිගට හමුවෙන තරමක ගස් වලට කැත්තෙන් කොටලා පොත්තක් ගහන්න වෙනම කෙනෙකුත් උන්නලු. 

මේ යාලුවොත් අතර මග නැතිවා නෙමේ ඈ. මෙයාල තමයි කැලේ අඩිපාරවල් රෙජිස්ටර් කරන උදවිය.



කැලේ අඩිපාරක්.


උදේ පාන්දර වන අසිරිය.

උදේම කුරුලු කොබෙයි ගීත නාදයෙන් මුසපත්වෙලා මෙහෙම ටික දුරක් යනකොට එක පාරටම තුවක්කු රාළ පිරිසට අතින් සංඥාවක් කරල හුන් තැනම පහත් වුනාලු. කාණ්ඩෙ මෙහෙම විනාඩි 10ක් 15ක් බලා ඉන්නවලු. තුවක්කු රාළත් කිසිම හැල හොල්මනක් නැතිව ඉදිරිය බලා ගත්තු ගමන්ම. අපේ තාත්තත් හිමීට පොලවට නොදැනෙන්න තුවක්කු රාලට කිට්ටු කරල බැලින්නම් තඩි කොටි හපුයියෙක් ගස් දෙබලක් උඩ. ඒක උන්නෙ අපේ පිරිසට පිටුපාල. ගහ යට පොඩි දියකඩිත්තකුත් කියෙනවලු. කොටි හපුවත් හැලහොල්මනක් නැතිව ඉදිරිය බලාගත්තු ගමන්. සාමාන්‍යයෙන් මේ විදියට ඉන්නෙ උගෙ ඉදිරියෙ ගොදුරක් තියෙනවනම් තමයි. ඒත් දිය කඩිත්තෙවත් ඒ ඉවුරෙවත් කිසිම සතෙක් නෑ. සමහර විට මේකට අපිට නොපෙනෙන යමක් කෑලෑවෙන් දිය කඩිත්ත දෙසට මතු වෙනකම් ඉන්නව වෙන්නත් පුලුවන්.


මෙහෙම ටික වෙලාවක් හිටපු තුවක්කු රාළ, ගිනි කඳෙත් සූජානම් කරගෙන ටිකෙන් ටික ගස් දෙබලට කිටටු කළාලු.  අතින් සංඥාවක් කරල අපේ පියතුමාවත් ලඟට ගෙන්න ගත්ත. තව ටිකක් හොඳට බලාගෙන ඉන්න කොට පේනවලු, මැස්සො වගේ කුඩා සත්තු ජාතියක් කොටි හපුයියගෙ ඔලුව වටේ කැරකෙනව. ඉතින් තුවක්කු රාළ එකපාරටම නැගිටල ගිහින් කොටියගෙ පස්සා පැත්තට තුවක්කු බටෙන් ඇන්නෙ නැතෑ. හපොයි දෙවියනේ කට්ටියම හිතුවෙ එක්කො හපුයියා බයටම ගැසිසිලා දුවයි නැත්නමි ආපහු හැරිල තුවක්කු රාළත් එක්කල ද්වන්ද සටනක් දෙයි කියල. සමහරු ඇස්දෙකත් පියාගෙනලු. තවත් අය හිතින් තුවක්කුරාළට බනිනවලු උණ්ඩ තියෙද්දි මොන එහෙකට බටෙන් ඇන්නද කියල.




වැරදුණු කුරුමානම


ඒත් බොලේ මේක ගස් දෙබලෙන් බිමට පතබෑ වෙච්චි ගෙම්බ පොලේ ගැහුව ගාණට.
හතර ගාතෙ හතර අතේ.

බැලින්නම් මේක පරලොව ගිය කොටියෙක් නෙවැ.

එකත් එකටම මූ දිය කඩිත්තට පැනල තියෙනවා මුවෙකුට හරි මී මින්නෙකුට හරි. උගේ කුරුමානම තිබිල තියෙන්නෙ ගස් දෙබල මැද්දෙන්. මේක ගස් දෙබලෙ හිරවෙලා.
මදැයි. එහෙ හැරෙන්නත් බෑ මෙහෙ හැරෙන්නත් බෑ.
ඒක එතනම පරලෝ සැපත්වෙලා.

ප.ලි...
ඒ කාලෙ කොටි හමක් කීවම ඉතින් අති දුර්ලභයි නේ. අපේ පියතුමාටත් දැන් උගේ හම ගෙනියන්න ආසාවත් ඇතිවෙලා. පස්සෙන් පහු එනගමන් මේකව කුදලගෙන යන්න හිතාන එදා වැඩට ගිහින්. 

හැබැයි ආපහු එනකොට නරි රංචුවක් කොටි හපුවගෙන් වාඩුව අරන්ලු. පස්සෙ ඉතින් උගෙ දත් ටිකකුයි නිය නිකකුයි අරන් ඇවිල්ලා. 

ඒ කොටි දත් ටික නම් තාමත් අපේ ගෙදර තියෙනවලු ඈ. මං පොඩි කාලෙනම් පුලුන් පුරොපු රාජාලියො, උකුස්සො, පොරෝ කෑදැත්තො, බකමූනො වගේ කුරුල්ලො ජාතිත් හිටිය. 

පස්සෙ අපේ අම්ම මැරිච්ච සත්තු මොකටද ගෙවල් ඇතුලට කියල කොටසක් භූමදානය කරල කොටසක් තාත්ත නැතිවෙලේ ආදාහනය කරල දාල.





(ගෙනාපු  මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමා යන්න අමතක කරන්න එපා...)

Friday, June 13, 2014

කොට කලිසම් මහත්තයා

අලුත් පාරවල් කපල, තියෙන පාරවල්, පදික වේදිකා අලුත් වැඩියා කරල මැණික් ඟග දිගේ අලි වැටකුත් හැදුන. මුලු කතරගමම විතරක් නෙවේ අවට ගම් බිමි නගරත් ලහි ලහියේ අලුත් වෙමින් තිබුනා. මේ වෙන මොකටවත් නොවේ, කතරගම ගම් උදාව වෙනුවෙන්.

`

ගම් උදාව වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියටත් විශේෂ කාර්ය භාරයන් පැවරුනා. ඒ තමයි ගම්උදා භූමියේ සියලු මැනුම් කටයුතු සිදුකිරීම. ඉතින් අපේ තාත්තටත් මේ රාජකාරිය සඳහා පිටත්වෙන්න සිදුවුණා. සති ගණන් කතරගම නැවතිලාම තමයි රාජකාරිය කලේ.

කෙතරම් දුෂ්කර කටුක වුවත්, හරිම විනෝදෙන් එය ඉෂ්ඨ සිද්ද කිරීමේ හැකියාවක් අපේ තාත්තටත් තිබුන. පරිසරයට සතා සීපාවට තියෙන ආදරය ඇල්ම නිසා පැවරුන රාජකාරිය ඔහු ඉතා ආසාවෙන් සිදුකලා. සෑම උදේකම වැඩබිමට යනකොට ඔවුන්ව පිලිගන්න මොණරු රංචු පිටින් ඇවිදින් සිටියා. දවල් වෙද්දි ඔවුන්ගේ වැඩ බලන්න ඉත්තෑවො කබල්ලෑවො වගේම සමහර දවස්වල සවස් යාමයේ උදාගමේ කැලණි විහාරය ඇති ප්‍රදේශයට මුව පොව්වන් ද ඇවිත් වැඩබිමේ තොරතුරු හොයල තියෙනවා. තවත් සමහර දවස් වලට නයා පොලඟා මාපිලා එහෙමත් අපේ කට්ටිය වටේ ගැවසිල ගෙහුන් තිබුන. කලිසම් පස්සා සාක්කුවේ ඉඳල අහම්බෙන් අතට ආවත්, දිවි මකුලුවාගෙන් කරදරයක් වෙලා නෑ. අපේ තාත්තා අදටත් කියන්නෙ කැලේ කොලේ සතා සීපාව එක්ක ඉඳලත් කිසිම කරදරයක් හිරිහැරයක් වුනේ නෑ, වෙච්ච හිරිහැරයක් මිනිසුන්ගෙන් මිසක්ය කියල.




අපේ තාත්තගේ නඩේට තවත් මිනින්දොරු මහත්තැන් කෙනෙකුත් ගෝලයෝ හත් අට දෙනෙකුත් වැඩ කරල තියෙනවා. උදාගම් බිමේ වැඩ කරන අතරේ ඉඳල හිටල රාත්‍රියට පොඩියට එකක් දෙකක් අරහෙ මෙහෙ කරගන්නත් අමතක කරල නෑ. ඉතන් පස්සෙන්දට නිවාඩුවක් ලබන දවසක රාත්‍රියේ අපේ තාත්තයි අනිත් මහත්තයයි ටිකක් විවේක සුවයෙන් එලිමහනේ අනුමතවෙන්න කියල උදාගම් බිමට ඇවිත් තියෙනවා. ඔහොම කයියක් හෙම දාගෙන ඉන්නකොට එකපාරටම ජීප් එකක් ඇවිත් වැඩබිමේ නවත්තලා.




දැන් වෙලාව පාන්දර දෙකට විතර ඇතිලු. ජීප් එකෙන් සුදුපාට කොට කලිසමක් ඇඳ ගත්ත කෙනෙකුයි, තවත් හතර දෙනෙකුයි බැහැල ඉදිරියට ඇවිත්. සුදුකොට කලිසම් මහත්තයා අපේ අපේ තාත්තල දෙසට අත දික්කරල වැඩබිමේ හිටපු තවත් මහත්තයෙකුගෙන් මොනවාදෝ අහල වැඩබිම ඇතුලටම පයින් ගිහින්. ඉතින් රාත්‍රිය විවේක සුවයෙන් ගතකරල දෙන්න එක්ක නින්දට ගිහින් තියෙනවා. පහුවෙනිදා තමයි දැනගෙන තියෙන්නෙ ඒ ඇවිත් තියෙන්නෙ ප්‍රේමදාස මහත්තයා කියල. උන්දැ ඔයවගේ වැඩබිම්වලට නොකියාම එනවලු වැඩ පරීක්ෂා කරල යන්න.

ගම්උදාව විවෘත කිරීමට තව දින දෙකකට වාඩා නෑ. ඉතින් එදා රාත්‍රියේම එතුමා ආපන ශාලාව පරීක්ෂා කරන්නත් ගෙහුන් තිබුන. ඒකෙ වැඩ නිම වෙලා තිබුනත් පොලවට කාපට් දාලා තිබිල නෑ. ඉතින් ප්‍රේමදාස මහත්තයා ආපනශාලාව නිම කිරීම භාර මහත්තයගෙන් ඒ ගැන විමසල තියෙනවා. ඔහු කියල තියෙන්නෙ කතරගම හැම තැනම බැලුවත් කාපට් හොයාගන්න ලැබුනේ නෑ කියල. ඉතින් කොලඹ ගියානම් ගෙනෙන්ට හැකිනෙව කියල එතුමා අහල. අපේ සේරම වාහන වැඩ බිමේ වැඩවලට අරං තියෙන්නේ මහත්තයෝ කියල ආපනශාලාව භාර නිලධාරිතුමා පිලිතුරු දීලා. ලඟ හිටපු කෙනෙකුට කතා කරල එතුමා කියල අර අපේ ජීප් එකක් මේ මහත්තයට දෙන්න කොලඹ ගිහින් එන්න. දැන්ම ගියොත් හෙට හවස් වෙනකොට එන්නට හැකි නෙව. මම අනිද්ද උදේට එන්නම්කෝ, ඒවෙන කොට කාපට් ටික එලන්න පිලිවන්නේ. කීවත් වගේ කියපු දා උදේම ආපනශාලාව පරීක්ෂා කරන්න එතුමා නැවත ඇවිත් තිබුනා.




Friday, May 30, 2014

සීතල නුවර එලිය (නොහොත් ජාත්‍යාලය 2)

පසුගිය දින කීපය ඉතා වැඩ අධික ලෙස ගෙවුණු  නිසා සීතල නුවර එලිය දෙවන කොටස ලියන්න ප්‍රමාද වීම ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ආරලු බූරලු නැතිව කෙලින්ම කතන්දරයට බහින්නම්කෝ. පළමු කොටස බැලුවෙ නැතිඅයට මෙන්න මෙතනින් ගිහින් බැලුවහැකි.  ඉතින් මම කලින් ලිපියේ සඳහන් කලා නෙව අපිට තේවතු තුනක මැනුම් කටයුතු සිදුකරන්න තිබුනය කියල. පලමු තේවත්ත තමා ෂින් එස්ටේට් කියන්නෙ. දෙවන එක හැටියට තෝරගෙන තිබුනෙ ඩන්සිනන් වතුයාය. මයිල් කෙලින් වෙන ඇබැද්දිය වුනේ ඔය කියන ඩන්සිනන් වත්තෙදි.



මට මුලින් කියන්න අමතක වුනා නෙව. මේ වතු මැන්නෙ ඒවයෙ වැඩකරපු ඉඩම් නැති දමිල අය අතරෙ බෙදා දෙන්නයි. ව්‍යාපෘති යෝජනාව තොණ්ඩමන් ඇමතිතුමාගෙ කාලෙ වුනාට, අපි මේ ඉඩම් මනින්න යනකොට තොණ්ඩමන් ඇමති, පාර්ලිමේනිතුවේ ආණ්ඩුපක්ෂෙන් විපක්ෂයට මාරු වෙලා හිටියෙ.

කොහොම හරි ඩන්සිනන් යන පළමු දවස වුනේ දීපවාලි දවසක්. එදා උදේට අපි කඩෙන් කිරිබත් හෙම කාල පිටත්වුනා. හරිම උද්යෝගයෙන් හැමෝම ඩන්සිනන් වත්තට ගියේ, එදා දීපවාලි නිසා අපටත් කැවිලි පෙවිලි යහමින් කන්න ලැබෙයි කියල හිතාන. ඒ දවස්වල අපිට තිබුනේ ටොයොටා කොරොල්ලා වැගන් වර්ගයේ කාරයක්. තේ වත්තෙ පාරක අයිනට කරල වාහනය දාල උපකරණ ආම්පන්නත් අරන් තේවත්තේ එක් කන්දකින් වැඩ පටන් ගත්තා.



උදේ එකොලහ විතර වන විට මිනින්දෝරු නඩේ කන්දෙ මුදුනට ලඟාවෙලා හිටියෙ. හීන් සිරි පොදයකුත් ඇදහැලෙමින් තිබුන. කොල්ලො කුරුට්ටොත් කීපදෙනෙක් අපේ වාහනය අහල පහල ගැවසෙමින් හිටිය. වත්තෙ මිනිස්සු ලැයිම්වලින් එලියට බැහැල අපි වැඩකරන දිහා උනන්දුවෙන් බලන් උන්න වගේ තමයි මට ඈතට පෙනුනෙ. දීපවාලි දවසනෙ කට්ටියටම නිවාඩු ඇති. හවස් කොරේ කැවිලි පෙවිලි ටිකක් හෙම කන්න බැරියැ කියල, අපේ උන්දැල දිගටම වැඩ.

ටික වෙලාවක් යන කොට අපේ වාහනය ලඟ ගැවසුන පිරිස වැඩි වුනාවගේ පෙනුනා. අපි අපේ පාඩුවේ කන්ද මුදුනටම ටික ටික සේන්දු වුනා. ඔය විදියට අපි කන්දේ අනිත් පැත්තෙ බෑවුමත් මනින්න පටන් අරගෙන තිබුන. කන්දේ අනිත් පැත්තෙ බෑවුමේ ඉන්න අපට දැන් වාහනයවත් පිරිසවත් පේන්නෙ නෑ.  නිකමට වාගේ මට හිතුන ආපහු කන්ද මුදුනට නැගල පාර දිහා බලන්න. වාහනේ ලඟ පිරිස සෑහෙන්න වැඩි වෙලා. සමහරු අතේ පොලු. තව සමහරු අතේ ලොකු ගල් කුට්ටි. ලැයිමෙ වලියක් වගේ. මං උඩ ඉඳන්ම පහල අපේ කට්ටියට කතා කරල ආරංචිය දුන්න.

ලැයිමෙ වලියක් වගේ පෙනුනට අපේ වාහනය ලඟ කට්ටිය ගහගත්තොත් වාහනයටත් අලාභයක් වෙන්නත් බැරිනෑ. මට එහෙම හිතුනට අපේ තාත්තට වෙන දෙයක් හිතිල. තාත්තගෙ කීමට අපි කට්ටියම එක සීරුවට පල්ලම් බැස්ස සිද්දය බලන්න. වත්තෙ ගල්වැටෙන් පාරට බැස්ස විතරයි, මෙන්න බොලේ එකෙක් අපේ තාත්තව බදාගෙන නෝට් බුක් එක උදුරන්න හදනව. තාත්තත් ඇරියෙ නෑ, එක පාරටම වැලමිටෙන් දුන්න උන්දැගෙ ඉලපත්ත පැත්තට පාරක්. ඒක වීසිවෙලා ගිහින් ගල් වැටට හේත්තුවුනා. වෙච්චි දේ එච්චර හොඳ දෙයක් නෙවේ. එතන පිරිමි විස්සක් විසිපහක් විතර සහ ගෑනු දොලහක් පාලොහක් විතර ඉන්නවා.

උන් ඔක්කොම දෙමලෙන්, කැඩිච්ච සිංහලෙන් අපේ හත්මුතු පරම්පරාවටම බනිනවා. ඔය අස්සෙ තව හත් අට දෙනෙක් අපේ කාර් එක උස්සල කන්දෙන් පහලට පෙරලන්න තතකනවා. තව හතර දෙකෙන් පොලු උස්සන් මොර දෙනවා. සේරටම දීපවාලි පදම සැරටම වැදිලා. ලැයිමේ නායකයා නැත්නම් තලවර් වගේ හිටපු එකා අපේ තාත්ත එක්ක වාදයක්. උන්දැල කියන්නෙ උන්ගෙ ඉඩම් අපි ආමි එකට දෙන්නයි මනින්නෙ කියල. ඒ දවස්වල ආබාධිත රණවිරුවන්ට ඉඩම් දෙන ව්‍යාපෘතියකුත් තිබුනා. මෙව්ව තොණ්ඩමන් ඇමතිතුමාගෙ යෝජනාව අනුව උන්දැලටම බෙදව වෙන්කරල දෙන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් මනින්නෙ කීවට එකෙක් නෙමෙයි අහන්නෙ. තලවර් කියනවා

තොණ්ඩමන් දැන් ආණ්ඩුවේ නේ.  
ඒක විපස්සෙට පැනල තමා ඉන්නවා.
ඔය මාත්තියා අපට බොරු තමා කියනවා. තොණ්ඩාමන්ට දැන් බලයක් නේ.
ඒ අස්සේ තව එකෙක්,
උම්බලට අද යෙන්න දෙන්නෙ නේ.
යෙන්න ඕන නම් දීපිං ඔය ඔක්කොම කොල ටික.
මේකෙ හිංගල XXX!@#$%@# ගෙ පුතාල පදිංචි කරන්න බෑ.

අපේ ආබාධිත රණ විරුවන්ට තේවතුවලින් ඉඩම් බෙදල දෙන එකට විරුද්ධව ඩන්සිනන් ලැයිම් දෙක තුනකම ගැහණු පිරිමි ජාත්‍යාලයෙන් යුතුව විනාඩි ගණනකදි එක්රැස් වෙලා හිටියා. සිංහල දෙමල කෝලාහලය අහල තිබුනට ඒක කොයි වගේ වෛරී දෙයක් වෙන්න ඇතිද කියල එදා අපිට හිතාගන්න පිලිවන් වුනා.

හප්පේ එක ගිනි විජ්ජුම්බරයයි. උන් අපේ කට්ටියව වටකරගෙන. ඔය අල්ල පනල්ලෙ අපේ එකෙක් හිමීට මාරු වෙලා ගියා සුපිරින්ටඩන් බංගලාවට වතු අධිකාරිට පනිවිඩේ කියන්න. හැබැයි මිනිහත් ගියාට ආපහු ආවෙ නෑ. පස්සෙ දැනගත්තෙ වතු අධිකාරිත් එතනට එන්න බයේ ඉඳල තියෙන්නෙ කියල. මීට ටික දවසකට කලින් තමා තවත් වතු අධිකාරිවරයෙක් නිවාස අඩස්සියේ තියාගෙන හිටියේ, පඩිවැඩි කිරීමක් ඉල්ලල. උන්දැව බේරගත්තෙ යුධ හමුදාවෙන් ගිහින්. ඒ දවස්වල පත්තරේත් සිද්දිය වාර්තා වුනා.

දැන් වසවර්ති සේනාව අපේ වාහනයට යන්න බැරිවෙන්න ඉස්සරහිනුයි පස්සා පැත්තෙනුයි කලු ගල් දාල. පොලුමුගුරු අමෝරාගෙන බලන් ඉන්නෙ. පට්ට සීතලේ හොඳටෝම දාඩියත් දාල. තාත්ත අතේ තිබුනු ෆීල්ඩ් නෝට්ස් බුක් එක දෙන්න කැමතිවුනේ නෑ.  ඒකෙම තමයි පුරා මාසයක් ෂින් වත්තෙ වැඩකරපුවත් තිබුනෙ. හවස්ජාමෙ වෙද්දි අපිට හැකි වුනා තලවර්ව නම්මා ගන්න. උන්දැට අපි නිවාස සංවර්ධන අධිකාරියෙන් දීපු ලියුමෙ කොපියක් දෙන්න කැමති වුනා. හැබැයි අපි එක්ක එන්නෝන ටවුමට යන්න. දැන් වත්තෙ එවුන්ගෙ හිතේ තලවර් අපෙන් ගානක් අරං වැඩේ ෂේප් කරගන්නයි ටවුමට යන්න හදන්නෙ කියල. උන් තලවර්ටත් කුණුහරපෙන් බැනල අපේ වාහනයටම දෙන්නෙක් නැග්ග ටවුමට යන්න.

කොහොමහරි එදා ඒ විදියට අපි බේරිලා ආවා. ඊට පහුවෙනිදා අපිට නිවාස සංවර්ධන අධිකාරියෙන් පොලිස් සන්නද්ද රථයකුයි ආමි ජීප් එකකුයි එවුව වැඩේ දිගටම කරගෙන යන්න.

ඔන්න ඔහොමයි අපි දීපවාලි කැවිලි වල රස වින්දෙ. 

Friday, May 23, 2014

සීතල නුවර එළිය (නොහොත් ජාත්‍යාලය 1)

මේ කියන්න යන කතාව නම් ඉතා බිහිසුණු මිනින්දෝරු අත්දැකීමක්. එදා ඒ සිදුවීම සිදුවන විට මමත් අපේ තාත්තා එක්ක මේ කියන ගමනට සහභාගීවෙලයි හිටියෙ.



මගේ අපොස උසස්පෙළ විභාගය අවසන් වෙලා ඉන්න කාලෙ අපේ තාත්තට නුවර එලියේ තේවතු කීපයක මැනුම් කටයුතු කරන්න යන්න සිද්ද වුනා. මාස තුනක්ම නුවර එලියේ නැවතිලා අපි  වැඩ කලා.
ෂීන් එස්ටේට්, ඩන්සිනන් එස්ටේට් සහ බේබුරූක් එස්ටේට් කියල තේවතු  තුනක් මැනල ලෙවල් නොහොත් තලමිතික පිඹුරු සකස් කරන්න තමයි තිබුනේ.

අපි මුලින්ම වැඩකලේ ෂීන් එස්ටේට් එකේ. ඒක තිබුනේ පූඩලු ඔය - නුවර එලිය පාරෙ. මේක ඉතාම පටු පාරක්. හැබැයි හරිම ලස්සන පලාත. අපේ මිනින්දෝරු නඩේට නවතින්න සුපිරින්ටන්ඩන් බංගලාවක් ලෑස්ති කරලයි තිබුනේ. අපිට කෑම ගත්තෙ පාර අද්දර තිබුනු පොඩි කඩ පොඩ්ඩකින්.



හැමදාම උදේ හත වෙද්දි අපි තේ වත්තට යනවා. නවය විතර වෙනකම් කට්ටිය එක දිගට වැඩ. පිරිසට කෑම සප්ලයි කරන එක භාරව හිටියේ මං තමයි. පලමු දවසේ උදේ වැඩට යන ගමන් අපි රොටි හදන්න කියල කඩේට කියලයි ගියේ. කැබිනට් අල්මාරියේ පේන්න තිබුනු ලුණු මිරිස කොල පාටට තිබුනු නිසා ටිකක් සැරට අපේ ලුණු මිරිස හදන්න කියලත් කීව. මොකද මේ දවස් වල හරිම සීතල කාලගුනයක් තමයි එහේ තිබුනේ.


උදේ නවයට විතර මං ගිහින් රොටි පාර්සලයයි තේවතුරයි අරං අවා. රොටියි ලූණූ මිරිසයි හරිම රසට හදල තිබුන. ලුණු මිරිසෙත් හරි අමුතු රසයක් තිබුන නිසා මගේ කෑදර කමට රොටිත් එක්ක ලුණු මිරිස් කන්නෙ නැතිව ලුණු මිරිස් එක්ක රොටි කෑව. මගෙ අම්මෝ දාඩිය දාල බඩයි කටයි දැවිල්ල ගන්න ගත්තෙ නැතෑ. බැලින්නම් ලූනූ මිරිස හදල තියෙන්නෙ නයි කොච්චි විශේෂයකින්ලු. වැඩි වෙලාවක් මෙහෙම කන්න ලැබුනෙ නෑ, අනිත් අයගෙත් ඇඟපතට දාඩිය දාල. අපරාදෙ කියන්න බෑ මේ ලුණු මිරිසෙ සැර දිවට දැනෙන්න ගත්තෙ තැපෑලෙන්. පාන්දර සීතලට කියාපු කෑම. 

මේ කාලය තුල සමහර දවස් වලට උදේට වැස්සකුත් ඇදහැලෙන්න ගත්තා. කූඩැල්ලො විමානෙ. තේ වත්තට උපකරන ආම්පන්නත් අරං නැග්ගට පස්සෙ අපි වැස්ස කියල වැඩ නැවැත්තුවෙ නෑ. තෙමීගෙනම වැඩ කලා. හරිම සුන්දර කාල පරිච්ජේදයක්. තේ දලු නෙලන පුරුදු කාරයො වැස්සට ගෙවල් වල, අපි වැඩ. ඒ අයට අපි ගැන හරි පුදුමයි. මං ඔය කියපු ෂින් තේ වත්ත ඉස්සරහ අනික් කඳුගැටේ තිබුන පොඩි දිය ඇල්ලක්. හරිම ලස්සනයි. වැඩ කරද්දි ඕක දිහා බලාගෙන ඉන්න ගිහින් තාත්තාගෙන් බැනුම් අහපු වෙලාවලුත් තිබුනා. වැස්ස පටන් අරං විනාඩි හතක් අටක් යන කොට බලා ඉන්දැද්දිම දිය ඇල්ලෙ පාට බොර වෙනවා. තවත් විනාඩි හතරක් පහක් යන කොට දිය ඇල්ලෙ පළල එකපාරටම වැඩිවෙනවා. බලා ඉන්න හරිම ලස්සන දර්ශනයක්. වැස්ස තුරල් කරන කොට හුලං හමන්න ගන්නවා. මේ වෙලාවටනම් ඉවසන්න බැරි සීතලක් එක්ක කන් පෙති හිරිවැටීගෙන යනවා. ඒත් ඒ පරිසරයේ චමත්කාරය විඳින්නෙ නැතුව දුවන්න හරිම ලෝබයි. මුලු සර්වාංගයම තෙත බරිතවෙලා. කොන්ඩා දිගේ වතුර බේරෙනවා. අපි දවල් කෑම වෙලාව වෙනකම් එක සීරුවටම වැඩ කරලා තමයි පහලට බහින්නේ.

අපි නැවතුන බංගලාවෙ උණු වතුර ගීසර් තිබුනෙ නෑ. ඉලෙක්ට්‍රික් හීටරයක් අරං තමයි වතුර රත් කරගත්තෙ. රෑටයි උදේටයි පට්ට සීතලයි. කොටින්ම කියනවනම් ශරීරකෘත්‍ය කරන්නත් අපි හීටරය ගහල වතුර නටවගෙන තමයි ගියේ. එත් විනාඩි හත අටකින් ඒකත් හොඳගානට නිවිලා. රෑට නිදාගන්න කලින් අපි ඇඳ උඩ අයන් එක ගහලා ඇඳ රත් කරලා තමයි ඇඳට පනින්නේ.

ඒ කාලෙ රථ ගාය උපරිමයෙන් තිබුනු මං ඉතාමත් ආසා කලේ උදේ පාන්දර තේ කඳු මැද්දෙන් අපේ කාර් එක එලවගෙන යන්නයි. ඒ මම රියදුරු බලපත්‍රය ගත්ත අලුත. තනි වාහනයක පලලට තියෙන මේ පාර වල් වල තට්ට තනියෙන් ඉහල පහල වාහනය පදවන හැටි දැකල‍ අපේ තාත්තාට මාගැන හොඳ විශ්වාසයක් මෙන්ම පුදුමයකුත් ඇතිකරන්න සමත් වුන එක මේ කාලපරිච්ජේදය මගේ ජීවිතයේ සිදුවූ විශේෂ දෙයක් වුනා.




ඉතා බිහිසුණුම අත්දැකීම විඳින්න සිදුවුනේ ඩන්සිනන් තේ වත්තෙ වැඩ කරන අතරතුරේදියි. ඒ දීපවාලි දවසක්. අද ලිපිය දිග වැඩියි කියල හිතුන නිසා ඒ අත්දැකීම ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්නකෝ.

Friday, May 9, 2014

ෆෝ වීල් සුදු මහත්තයා



            මහවැලිය කියන්නෙ අපේ රටේ දිගම ගංඟාව කියල ඔයාල දන්නව නෙව. ඒ වගේම තමයි මහවැලි  ව්‍යාපෘතිය කියන්නෙ අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. මහවැලි ව්‍යාපෘතිය අපේ රටතුල කොයි තරම් වෙනසක් සිදු කලාද කියල අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා ඉවරයි. මේසා අගනා ඉතිහාස කතාවක් අපේ රටට දයාද කල මහවැලි ව්‍යාපෘතියේ ආරම්භක මෙන්ම ප්‍රධාන මෙහෙයක් ඉටු කරීමේ වගකීම කරට අරන් එය නිසියාකාරව ඉටු කළ පිරිසේ ඉදිරියෙන්ම සිටිනා කෙනෙකු ලෙස මගේ පියතුමාගේ නමද තිබෙන බව ඉතාම හැඟීම්බරව, නිහතමානී ආඩම්භරයකින් යුක්තව මේ මොහොතේ මතක් කරනු කැමැත්තෙමි. මේ වන විට රෝගීව සිටින රටක් වටින එතුමාට නිදුක් නීරෝගී සුවය කඳුලුපිරි දෙනෙතින් යුතුව ප්‍රාර්ථනා කරමි. මගේ ආයුෂත් අරගෙන ඔහු තව බොහෝ කාලයක් ජීවත්වේවා.



            ඉතින් මම දැන් කියන්න යන මේ කතාව ඔහු මහවැලියෙ මේන් චැනල් එකේ (ප්‍රධාන කොටසේ) වැඩ ඇරඹි කාලයේ සිද්ද වෙච්චි එකක්. දඹානේ සිට හෙනානිගලට මැනුම් කටයුතු භාරව ඉඳල තියෙන්නෙ ඔහු තමා. ඒකාලේ මේව ඝන වනාන්තර නොවැ.  වනන්තරේ ජීප් ට්‍රැක් එක (ජීප් එකක් යාමට තරම් පලල පාරක්) කපාගෙනම තමයි ඉදිරියට යන්න ඕන. ජීප් ට්‍රැක් කීවට මහ වනන්තරේ විල්ලු, වගුරු, ගල්කුලු, ආරු මැදින් තමා පාර හදාගන්න සිද්ද වෙලා තියෙන්නෙ. මේ ආකාරයට දඹානේ සිට පාර කපාගෙන හෙනානිගලට එන කොට තව පිරිසක් මහ ට්‍රැක්ටරයකින් ඊට දවසකට දෙකකට කලින් යැවුවලු හෙනානිගලයි දඹානයි අතරමැද තියෙන දොලගල්වල කියන ඉසවුවට, එකාලෙ තිබුන වටපාරෙන්. ඒ අයගෙ රාජකාරිය වෙලා තියෙන්නෙ පිරිසට නවාතැන් ගන්න ලොකු කූඩාරමක් සකසලා දොලගල්වල සිට දඹාන පැත්තට පාර හදාගෙන එන්න. මේ කූඩාරමට කාමර දෙකකුයි, තරමක විශාල කොටසකුයි අයිතියි. සති දෙක තුනක් හෝ මාසයක් විතර එක දිගට ඉන්න වෙන නිසා බිමට සිමෙන්තිත් දාල සිමෙන්තියෙන් වැසිකිලියකුත් හදනවලු. ඒ කාලේ සර්වයර් සුපිරින්ටන්ඩන් නොහොත් මිනින්දෝරු අධ්‍යක්ෂකට ඉතින් මේව සුපිරිසිදුවට පහසුවට තියෙන්න ඕනැ. උන්දැ සුද්දෙක් නොවැ. දැනටත් ඉතින් අපි ඔය කතාවට කියනවනේ මගේ වැඩත් සුද්ද වගේ ක්ලීන් කියල.

            මේ කාලේ වැවිලි සමාගම් එහෙම පාලනය වෙලා තියෙන්නෙත් බොහෝ දුරට සුදු ජාතිකයන් අතින් තමා. ඒ වගේ වැවිලි සමාගමක් භාරව හිටපු සුදු මහත්තයෙකුත් මේ වැඩේ ආරංචිවෙලා මගදි අපේ පිරිසත් එක්ක එකතුවෙලා තියෙනවා. උන්දැට ඕනැ වෙලා තියෙන්නෙ විනෝද චාරිකාවක් වගේ කැලේ මැදින් හෙනානිගලට ගිහින් අපේ ආදිවාසී ජනතාව බලා කියාගෙන එන්න. කැලේ දෙවියන්ට භාර වෙලා අමු කොල අත්තක් කඩලා අතුදෙබලක එල්ලල හෙම තමයි අපේ පිරිස ගමන ආරම්භ කරන්නෙ. ඔය එන අතෙරෙදි වගුරු වගේ එරෙන තැන් හමුවුනාම, කැලේ වැල් කඩාගෙන ඇවිත් කැලෙන්ම සොයා ගත් ලී කොට, අතු ඉති එකට තියල බැඳල රෝද වලට තියල තමයි එගොඩ වෙන්නෙ.  සමහර වෙලාවට කැලේ මැදින් ගලන දොල පාරවල් දෙකට බෙදිල කැලේ මැද කුඩා දූපත් හෙම හැදිල තියෙනවලු. මේවගේ තැන් දැක්කම කාටද ආස හිතෙන්නෙ නැත්තෙ. ඉතින් කස්ටිය එහෙම තැන් වල ටිකක් නැවතිල නාල කාල හෙම තමයිලු පිටත් වෙන්නෙ. 

මේ විදියට හැතැක්ම තිස්තුනක් පාර හදාගෙන යන්න තිබුනලු. අත්දුෂ්කර එහෙත් ආශ්වාද ජනක ගමනේ දවල් හරිය වන විට අපේ පිරිස වේර පොකුණ කියන කැලේ මැද ගම්මානෙකට ලඟාවෙලා. එදා උදේ උයාගෙන ආපු බත් සමග ආඳා මාලුයි, පරිප්පුයි, කොල සම්බලයකිනුයි තමයි දවල්ට සප්පායම් වෙලා තියෙන්නෙ. අපේ තාත්තට නම් ආඳා මාලු එච්චර ඇල්ලුවේ නෑලු. ටික වේලාවක් ගිමන් නිවල ආයෙත් කට්ටිය අයියනායක දෙවියන් සිහිකරන් තව කොළ අත්තක් හෙම එල්ලල ගමන් ආරම්භ කරල. ඔහොම තව හැතැක්ම දෙකක් විතර ඉස්සරහට යනකොට අපේ පිරිස ගමන් ගත්ත ජීප් එක වගුරක එරිල. රියදුරුතුමා දන්න සෙල්ලං ඔක්කොම දාල රෝද හතරම මඩේ එරිලලු. ඒ ගිය ජීප් එකේ ෆෝවීල් විතරයි අර වින්ක් එක කියන උපාංගය තිබිල නෑ. දැන් මේ ගමනට අර මන් මුලින් කීව සුදු මහත්තයත් අපේ පිරිස සමග උන්දැගේ ලෑන්ඩ්රෝවර් වර්ගයේ ජීප්පුවෙන් මගදි එක්කාසුවෙලා තිබුන නෙව. අපේ කස්ටිය සුද්දට කෑ ගහල කියල වගුරට දාන්න එපා එරෙනව කියල. සුද්ද බැලුවලු දැන් තමයි මගේ වැඩ පෙන්නන්න හොඳම වෙලාව කියල, ඉංගිරිස් වලින් “Don’t you know? This is a Land Rover. I am an expert of four wheel drive in London.කියල පුරාජේරුවකුත් කීවලු. මෙහෙම කියල උන්දැගෙ ජීප්පුවෙත් සැර දාල හෙම දැම්මෙ නැතෑ මඩ ගොහොරුවට. අපේ එරිච්චි මිට්සුබිෂී ජීප් රථය පහුකරනවත් එක්කම උන්දැගේ ජීප්පුවත් ඉදිරිපස රෝද නොපෙනෙන තෙක්ම එරිල ගිහින්. මෑන්ස්ගේ සෙල්ලන්නුත් දැන් අහවරයි. සුද්ද තමන්ගේ වාහනයටත් බැනගෙනම දොර ඇරල මඩට බහැල. දැන් ඉතින් මිනිහගෙ සුදුපාට, කටයි නලලෙ කුඩා කොටසකුයි විතරයි.



කොරේ පිටට මරේ කියල අපේ පියතුමාට දවල් දෙසාබාපු ආඳා මාලුත් උඩ පැන පැන වැඩ කරන්න පටන් අරං ඔක්කාරෙලු. දැං ඉතින් මොකද කරන්නෙ, අනිත් පැත්තෙ ඉඳල මේ පැත්තට පාර කපන් එන ටැට්ටරේ සමහරවිට හෙට උදේ වෙද්දි එන්න ඉඩතියෙන නිසා ඒක එනකම්, වගුර කිට්ටුවම කැලේ වාඩිගහන්නයි කස්ටියගෙ කල්පනාව. මොකද අද වගේ අතේ ගෙනියන ටැලිපෝන් නෑනෙ. අපේ සුදු මහත්තයත් ඉන්නවලු රූස්ස මුලක් උඩ ඇන තියාගෙන, හරියට පෙරහැරේ ආපු ගරා යකා වගේ. ඔහොම පැයක් දෙකක් ඉන්නකොට ඈතින් ඇහෙනවලු සද්දයක්. සද්දෙ ටික ටික අපේ කස්ටිය උන්නු දිසාවට ලංවෙන හඬ ඇහෙන්න ගත්තලු. බැලින්නං මේ කලින්දා උදේ දොලගල්වලට යවපු අපේ මහ ටැට්ටරේ නොවැ. අපේ පිරිස සන්තෝසෙට උඩ පැනල කෑ ගහල එක සෙල්ලමයිලු. එදා කොහොමට තියෙන්න ඇත්ද ඒ පිරිසගෙ සන්තෝසෙ. ඔන්න ඉතින් ටැට්ටරේ ඇවිත් ටේලරේ ගලවල හුක් එක කියන කොටස ජීප් එකේ බෆර් එකට යටින් දාල, ලී කොටන් එහෙම දාල ඇදල ගොඩ ගත්තලු. අපේ සුදු යාලුවගෙ ලෑන්ඩ් රෝවර් එකටත් ඉතින් ඒ ප්‍රතිකර්මයම තමා කොරල තියෙන්නෙ.

දැන් ඉතින් මඩෙන් ගොඩ වෙලා ටැට්ටරේටත් ආයිබෝං කියල අපේ පිරිස දොලගල්වල බලා ආයිමත් පිටත්වෙලා. ඒ යන අතරත් පොඩි පහේ ආරුවක් නොහොත් දොල පාරකිනුත් එගොඩ වෙන්න තිබිල තියෙනවා. ඔහොම තව ඉස්සරහට යනකොට ආයෙ තව දොලක් හමුවෙලා එගොඩ වෙන්න. ඒකෙ නම් ටිකක් වතුර වැඩියිලු. ඉතින් ඔන්න වතුර පාර අඩු වෙනකම් ටිකක් වෙලා බලං ඉන්න කොට එකපාරටම වතුර පාර ඉහලගිහින්. දැන් මොකද කරන්නෙ, කට්ටිය ආපසු හරවගෙන එන්න ගත්තලු වෙන ඉසව්වකින් එගොඩ වෙන්න හිතාන. බොලේ කලින් එගොඩ උන දොලපාරෙත් දැන් ඉහ පොවන්නත් බැරි ගානට වතුර ඉහල ගිහින්, උඩහට වැහැල. එදා ඉතින් පිරිස දොලවල් දෙකට මැද්දෙ රැය පහන් කරල පහුවෙනිදා උදේ වතුර අඩු වුනාමලු දොලගල්වලට ගියේ. 




මේ සටහන මාගේ පියතුමන්ට උපහාරයක්ම වේවා! 

දෙපතුල රිදෙනතුරු කඳු හෙල් හෙම නැගලා
හතරමහ නිධානේ ලෙස               සිත් දරලා
හතර දෙනෙක් ඇති දැඩි        කරමින් වඩලා
සිටිනා රන් දෙපතුල               නමදිමි වැඳලා

පාලුව තනිය කිසිවිට සිත නොරැඳෙන්න
පින් සිතුවිලි තව තව සිහියට        එන්න
දහසක් සවි දහසක් බල          මට දුන්න
පිනෙන්ම මගෙ පියතුම  සුව ලැබගන්න